සහශ්‍ර දෙකක් තරම් ඈතට දිවයන ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ අධ්‍යාපනය හඳුන්වා දී ඇත්තේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසිනි. දිගු කාලයක් තිස්සේ අධ්‍යාපනයට පැවැති මේ පිළිගැනීම හේතුවෙන්ම දකුණු ආසියානු කලාපයේ රටකින් බලා‍පොරොත්තු වන මට්ටමටත් වඩා වැඩි 92ක සාක්ෂරතා මට්ටමක් ශ්‍රී ලංකාව සතුව පවතී. මෙය දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතයයි.
සාක්ෂරතා සංඛ්‍යා‍ලේඛන ඉහළ අගයක් ගැනීමට සාපේක්ෂව මෙරට උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රවෘත්තීන්ද කලක පටන් පැවතියේ ඉහළ මට්ටමකිනි.

1921දී ලන්ඩන් විශ්වවිද්‍යාලය සමග එක්ව සිලෝන් යුනිවසිටි කොලීජිය ස්ථාපිත කිරීමේ සිට උසස් අධ්‍යාපනය වෙනුවෙන් මෙරට රජුගේ මැදිහත්වීමෙන් උසස් අධ්‍යාපන ආයතන රැසක් බිහිවිය. ඒ අනුව අද වනවිට අනෙකුත් තෘතීයික අධ්‍යාපන ආයතනවලට අමතරව ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් 15 ක් ඇත. මෙම ආයතන ඔස්සේ අතීතයේදී උපාධි ප්‍රදානය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම අපේක්ෂා කළද අද වනවිට රැකියා වෙළෙඳ‍පොළට ප්‍රවිෂ්ට වීම වෙනුවෙන් දේශීය උපාධිධාරීන් මෙරට උසස් අධ්‍යාපනය ඔස්සේ ප්‍රධාන ලෙසට සකස් කිරීම සිදු කෙරෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කරමින් උසස් අධ්‍යාපන විෂය යටතේ වෙනම අමාත්‍යංශයක්ද කලකට පෙර ස්ථාපනය කරනු ලැබුවේ මෙම ඉලක්කය කරා වඩා වේගයෙන් ගමන් කිරීමේ අභිලාෂයෙනි. වත්මන් ආණ්ඩුව යටතේද උසස් අධ්‍යාපන අමාත්‍යංශයට වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශිෂ්ටම මධ්‍යස්ථානයක් බවට පත්කිරීම යථා දැක්මක් ලබා දී තිබේ.

කෙසේ වුවත් මේ පැවසීමට යන්නේ එවන් වූ මෙරට උසස් අධ්‍යාපනයේ අභිමතාර්ථ ඉටුකිරීමට පවතින විෂය භාර අමාත්‍යාංශය අසමත්ව සිටින ආකාරයයි. මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ 2016 වර්ෂය වෙනුවෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවේ කොටසකි.

එම වාර්තාවට අනුව අමාත්‍යාංශය යටතේ මතභේදයට තුඩුදෙන ගනුදෙනු කිහිපයක්ම සිදුවී ඇත. ශ්‍රී ලංකා රජයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ පාඨමාලා සඳහා පාකිස්තානයේ ලියාපදිංචි වී සිටි සිසුන් දෙදෙනෙකුව පසුව වෙනත් රාජ්‍ය නොවන උපාධි ආයතනයක ලබා දී තිබුණි. ඒ වෙනුවෙන් අදාළ ආයතනයට අමාත්‍යංශය විසින් ගෙවා ඇති විගණන නොවී ඇති මුදල (2017 ජුනි මාසය දක්වා) මිලියන 3.15කි. එම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේම 2012 සිට 2016 දක්වා වසර 04කදී මෙරට ලියාපදිංචි වී පසුව පාඨමාලා හැරගිය විදේශීය සිසුන් සංඛ්‍යාව 22කි. මේ අතරින් සිවු දෙනෙකු වෙනුවෙන් පමණක් අමාත්‍යාංශය ගෙවා ඇති මුදල රුපියල් මිලියන 173කි. එසේම එම සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ආපසු අමාත්‍යංශයට ගෙවිය යුතු තවත් රුපියල් ලක්ෂ 335,000ක මුදලක් නැවත ලබාගැනීමටද කටයුතු කර නැත.

එසේම මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලවලට භෞතික විද්‍යාව, කෘෂිතාක්ෂණය හා කළමනාකරණය, පරිගණක විද්‍යාව වැනි පාඨමාලා සඳහා සුදුසුකම් ලත් සිසුන් ලියාපදිංචි කර නොගත් අවස්ථාද ඇත. මේ හේතුවෙන් නිර්මාණය වූ පුරප්පාඩු සඳහා පසුවද බඳවාගැනීම සිදු නොකිරීම නිසා 2013 සිට 2016 දක්වා වර්ෂවලදී පිළිවෙළින් සිසුන් 1794ක්, 1455ක් හා 1695ක් ඇතුළත් කර ගැනීමට තිබූ අවස්ථාවන් විශ්වවිද්‍යාලවලට අහිමි වී ඇත. වෙනත් ආකාරයකින් පැවසුවහොත් එම වසර 03දී විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට නොහැකි වූ සුදුසුකම් ලත් සිසුන් සංඛ්‍යාව 4,944කි. ඒ අනුව පෙනී යන්නේ අමාත්‍යාංශයේ වැරදි මැදිහත්වීම් හේතුවෙන් සුදුසුකම් ලත් සිසුන් විශාල සංඛ්‍යාවකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් අහිමි වී ඇති බවයි. මීට අමතරව 2015/2016 අධ්‍යයන වර්ෂවලදී විවිධ පාඨමාලා සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට පුරප්පාඩු 1695ක් සඳහා ලියාපදිංචි වන ලෙස දන්වා තිබුණද ඇතැම් විශ්වවිද්‍යාලවල පවතින යල්පැන ගිය ගතානුගතික පටිපාටි හේතුවෙන් එම පුරප්පාඩු පිරවීම වැළකී ගොස් ඇත.
මෙරට විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් බඳවා ගැනීමට තීරණය වී ඇත්තේ 2011 ජනවාරි 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවය. එහෙත් පසුගිය වර්ෂවලදී විදේශ සිසුන් බඳවා ගැනීමේ යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාවන් සහ බඳවාගත් සංඛ්‍යාවන් අතර විශාල වෙනසක්ම පවතින බවද විගණන වාර්තාව අනාවරණය කරයි. දේශීය සිසුන් කොළඹින් බැහැර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් නොවීමේ ප්‍රවණතාවය ඉහළ යෑමට බලපා ඇත්තේද මේ හා සමාන තත්ත්වයකි. එනම් අමාත්‍යාංශය මැදිහත් වී විශ්වවිද්‍යාලවල ප්‍රවාහන පහසුකම්, නවාතැන්, ආහාරපාන හා සනීපාරක්ෂක පහසුකම් අන්තර්ජාතික තත්ත්වයට ගැළපෙන අයුරින් වැඩිදියුණු නොකිරීමයි.

අමාත්‍යාංශ විගණනයේදී මතුව ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක්ද අනාවරණය වී ඇත. ඒ අතරින් විදේශාධාර යටතේ ක්‍රියාත්මක කාර්ය සාධනයේ පවතින ප්‍රගතිය පවතින ඌණතාවය මූලික වේ. එවැනි ව්‍යාපෘතින් සඳහා 2015 සහ 2016 වර්ෂයේදී ලැබි තිබුණු මුදල පිළිවෙළින් රුපියල් මිලියන 20.6ක් හා රු. මිලියන 25ක් වූ නමුත් එම මුදල්වලින් කිසිදු උපයෝජනයක් සිදුකර නොමැත. සමස්ත ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය දැක්වී ඇත්තේ 52 ක ප්‍රතිශතයකි.
රුහුණු විශ්වවිද්‍යාලය සඳහා කලාගාරයක් ඉදිකිරීම ආරම්භ කර තිබුණේ 2015 වර්ෂයේදීය. ඒ සඳහා රු. මිලියන 486ක් වෙන්කර ඇතත් 2016 වර්ෂය වනවිටත් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය 30ක් පමණකි. (මෙම ඉදිකිරීම් 2017.11.06 අවසන් කිරීමට ද නියමිතය.) එසේම 21 වන සියවස සඳහා වූ උසස් අධ්‍යාපන ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක්ද අනාවරණය වී ඇත. මේ යටතේ දෙහිවල ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට නව ගොඩනැගිල්ලක් වෙනුවෙන් රු. මිලියන 80ක් වෙන්කර තිබිණි. එහෙත් 2016.06.30 වනවිට එහි ප්‍රගතිය දැක්වුණේ 60ක් පමණකි. ව්‍යාපෘතිය නියමිත දිනට පරිපූර්ණ නොකිරීම නිසා රුපියල් මිලියන 19ක් ආපසු භාණ්ඩාගාරය වෙත යැවීමටද සිදුව ඇත. මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල 13ක කාර්ය මණ්ඩල නිලධාරීන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වෙන්කර ඇති රු. මිලියන 367 ක මුදලද සම්පූර්ණ ලෙස වැයකර නොමැත. මෙම ව්‍යාපෘතිය යටතේම සබරගමුව විශ්වවිද්‍යාලයට 2016.03.29 දින මිලදී ගත් රු. මිලියන 2.4ක් වටිනා ක්‍රීඩා උපකරණද අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ කඩිනම් ව්‍යාපෘති සඳහා 2015 වර්ෂයේදී රු. මිලියන 220ක් වෙන්කර ඇතත් ඒ යටතේ සිදුකළ ඉදිකිරීම්වල ගැටලු සහගත තැන් රැසක් මෙම විගණනයේදී අනාවරණය වී ඇති අතර සිසු පරිහරණයට ලබා නොදුන් නේවාසිකාගාර සංඛ්‍යාව 11කි.
සමස්තයක් ලෙස ගත්කළ භාණ්ඩාගාරය විසින් සමාලෝචනය කර 2016 වර්ෂයේදී ප්‍රාග්ධන ප්‍රධාන වැඩකටයුතු 05ක් වෙනුවෙන් රු. මිලියන 3855ක් අමාත්‍යාංශයට වෙන්කර ඇති නමුත් ලබා දී ඇති මුදලින් 50ක්ම වැයකිරීමට අමාත්‍යාංශය සමත් වී නොමැත.

විවිධ වර්ගවල ශිෂ්‍යත්ව ප්‍රදානයන් සඳහා කොමිෂන් සභාව විසින් රු. මිලියන 25ක් වෙන්කර ඇතත් වර්ෂාවසානයේ ඉන් මිලියන 09ක්ම වැය කිරීමකින් තොරව බැංකු ස්ථාවර ගිනුම්වල ආයෝජනය කර ඇත.
මෙවැනි අක්‍රමිකතා රැසක්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විගණනය කිරීමේදි 2016 වර්ෂයේදී විගණකාධිපතිවරයාට නිරීක්ෂණය වී ඇති අතර මහ‍පොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියද මීට වෙනස් මට්ටමක බලවත් නැත. නිදසුනක් ලෙස ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත මහ‍පොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය පෙන්වා දිය හැක. එහිදී ඉහළ ආදායම් ලබන පවුල්වල සිසුන් රැසක්ම ආදායම් රහිත පවුල්වල සිසුන් ලෙස සලකා ශිෂ්‍යත්ව ප්‍රදානයන් සිදුකර තිබේ. මේ ඔස්සේ සැබෑ ලෙසම ශිෂ්‍යත්ව ලැබිය යුතු සිසුන් රැසකටම අමාත්‍යාංශය සිදුකර ඇත්තේ බරපතළ අසාධාරණයකි.

මෙම විගණන වාර්තාව දෙස බලනවිට පැහැදිලිවම පෙනීයන ප්‍රධානතම කරුණක් ඇත. එනම් තේමාව කුමක් වුවද අමාත්‍යාංශයට සැබෑ ලෙසම මෙවර උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන හෝ වැයකිරීමේ සැබෑ අවශ්‍යතාවක් පවතින්නේද යන්නයි.

නයන තරංග ගමගේ