ලොව බලවත්ම රාජ්‍ය නායකයකු ලෙස රැඳී සිටිමින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ රුසියානු නායකයා වූ ව්ලැද්මීර් පුටින් ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් 76.66%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ඉදිරි වසර 6 සඳහාත් එරට ජනාධිපති ධුරයට තේරී පත්ව තිබේ. එ් සිව්වැනි වරටයි. රුසියානු මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශිත නිල ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව පුටින් මෙම ඡන්ද ප‍්‍රමාණය හිමිකරගෙන තිබුණේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරගවැදීමෙන් විශේෂත්වයකි. එය 2012 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ලැබූ ඡන්ද ප‍්‍රතිශතයට වඩා 13%කින් වැඩි අති විශිෂ්ට ජයග‍්‍රහණයකි. එ් අනුව 2000 වසරේ සිට ජනාධිපති ධුරයට පැමිණි පුටින් තවත් 6 වසරක් එනම්, 2024 තෙක් රුසියානු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත. පුටින්ගේ ජයග‍්‍රහණය ඔහුගේම දේශපාලන ප‍්‍රචාරකයන්ට ද ‘විස්මිත ජයක්’ බව පවසා තිබේ.

ඡන්දය අතරතුර පුටින්ට මාරයා සිහිවෙයි

ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කිරීමට ගිය ව්ලැද්මීර් පුටින් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙවර ද ඔහු ජයගතහොත් කුමක් කරන්නේ ද යන්නයි. එහිදී පුටින් පැවසූයේ ‘ඔබ සිතන්නේ මා අවුරුදු 100ක් වනතෙක් මෙහෙමම ජීවත් වේවි කියා ද. කොහෙත්ම නෑ’ යනුවෙනි. එහෙත් සිය ජයග‍්‍රහණය පිළිබඳ කෙටි අදහසක් දක්වමින් පුටින් ප‍්‍රතිඵලයෙන අනතුරුව පවසා ඇත්තේ ‘මෙය මෙතෙක් පැවැති එක්සත් බව ආරක්ෂා කිරීමේ ජනතා අපේක්ෂාව’ බවයි. තමන් තවදුරටත් රුසියාවේ එක්සත් හා එක්සේසත් බව රැුකගැනීම උදෙසා කැපවන බව ද ඔහු සඳහන් කර ඇත.

පරාජිතයෝ

පුටින් 76.66% ලබාගනිද්දී දෙවැනි ස්ථානයට වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් හිමිකරගෙන තිබුණේ කමියුනිස්ට් පක්ෂ අපේක්ෂක පාවෙල් ගෘජීනියන් ය. එ් 11.80%ක් වශයෙනි. ඉන්පසුව වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් එනම් 5.66%ක් ලබාගෙන තිබුණේ ව්ලැද්මීර් සිහිනොව්ස්කි ය. ළාබාළතම හා එකම කාන්තා අපේක්ෂිකාව වූ සීනියා සබ්චැක් ලබාගෙන තිබුණේ ඡුන්ද 1.2%කි.

සයිබර් ප‍්‍රහාර මැද ඡන්ද ගැනිල්ල

ජනාධිපතිවරණයේ ගණන් විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය. ඡන්ද ගණන් කිරීම ආසන්නව තිබියදී මධ්‍යඹ මැතිවරණ කොමිසමට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වූයේ ඡුන්ද ගණන් කිරීමේ තොරතුරු ඉලක්ක කරගනිමින් බවට කොමිසමේ ලේකම්වරිය පැවැසුවාය. ඇය වැඩිදුරටක් පවසා තිබුණේ මෙම සයිබර් ප‍්‍රහාරය රටවල් 15ක සිට සිදුකළ එකක් බවයි.

මැතිවරණය ඉතිහාසගත වූ හැටි

රුසියානු විපක්ෂය හා මැතිවරණ නිරීක්ෂකයන් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණය පෙර නොවූ විරූ තරමේ දුෂිත මැතිවරණයක් බවයි. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ ප‍්‍රධානී ඉල්ලො පම්ෆිලොවා පවසා ඇත්තේ මෙවර මැතිවරණය බරපතළ දුෂණ වංචා කිසිවකින් තොරව පැවැති බවයි. සුළු පැමිණිලි හා දේශීය පැමිණිලි කිහිපයක් පමණක් ලද බව ද ඔහු පවසා තිබුණි. ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ප‍්‍රතික්ෂේප වූ විපක්ෂයේ ඇලෙක්සි නවාල්නි පවසා තිබුණේ අතිශය දුෂිත ආකාරයෙන් පැවැති මෙවර මැතිවරණ ප‍්‍රතිඵලය වහාම අත්හිටුවිය යුතු බවයි.

ඡන්ද හොරකම් වීඩියෝ එළියට

නවාල්නි පවසන ආකාරයට රටපුරා ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් 33,000ක් පමණ යොදවා තිබේ. නිරීක්ෂණයන්ගෙන් හෙළිවී ඇත්තේ පුටින්ගේ සැබෑ ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රතිශතය 55%ක් බවයි. ඡුන්ද මධ්‍යස්ථාන 80%ක් පමණ සීසීටීවී කැමරාවලින් ආවරණය වීම නිසා බොහෝ සිද්ධීන්වලට ප‍්‍රසිද්ධියක් ලැබී ඇති බවත් මැතිවරණ නීති උල්ලංගනය වීම් රහසක් නොවන බවටත් නිරීක්ෂකයන් පවසා තිබේ. ඡුන්ද විමසීම ආරම්භයට පෙර ඡන්ද පෙට්ටි විවෘත කිරීම්, ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලට නිරීක්ෂකයන්ට අවහිර කිරීම්, සන්නද්ධ කල්ලීන්ගේ කඩාවැදීම් හා බියවැද්දීම්, සීසීටීවී කැමරා අවහිර කිරීම් ආදී සිද්ධීන් 1764ක් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. නවාල්නි මෙන්ම රාජ්‍ය නොවන මැතිවරණ නිරීක්ෂකයන් පවසා ඇත්තේ පුටින් සහයකයෝ අවස්ථා කිහිපයකදී පැමිණ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ සිද්ධීන් ද වාර්තා වූ බවයි. ඡන්ද පෙට්ටි පිරවීම සම්බන්ධයෙන් ද එම පාර්ශ්ව දෙකෙන්ම චෝදනා එල්ල වී තිබේ. ඊට උදාහරණ දක්වමින් ඩැගස්ටැන්හි මැතිවරණ ප‍්‍රාන්ත කොමසාරිස්වරයා පැවසුවේ පුද්ගයන් 50 දෙනකු පමණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට පැමිණ ඡුන්ද පිරවූ පෙට්ටි භාරව සිටි නිලධාරීන්ට ඡුන්ද ගණන් කිරීමට පෙර හිරිහැර කළ බවයි. එමෙන්ම ඔවුන් ඡන්ද ගණන් කරන ස්ථානයේ සිට එ් පිළිබඳ බලා සිටි බව ද ඔහු සඳහන් කර ඇත. එහෙත් මේ පිළිබඳ මධ්‍යම මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ ඇතැම් නිරීක්ෂකයන් සිදුවීම් වැරදි ලෙස විග‍්‍රහ කරන බව ය.

ලෝක ලෙඩක් වූ ජනතා හිතවාදියා

පුටින්ගේ රාජ්‍ය පාලනයේ පවතින ආත්මාර්ථකාමී, උපායශීලී හා ආක‍්‍රමණශීලී බවට හොඳම උදාහරණය වන්නේ රහසිගතව අමෙරිකාවේ රාජ්‍ය පාලනය සිය සහයකයකු අතට පත්කරගැනීම බව ඇතැමකු පෙන්වා දෙයි. එමෙන්ම බි‍්‍රතාන්‍ය විසින් රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අත්හිටුවීමට තරම් දැඩි තීරණයකට එළැඹීම හේතුවූයේ පුටින්ගේ උපායන් හා රහසිගත වැඩපිළිවෙල නිසා යැයි ද පැවසේ. අමෙරිකාව හා බි‍්‍රතාන්‍ය එක්ව රුසියාවට එරෙහිවීමට උත්සහ කළ ද තනිව නැගී සිටිමින් පුටින් එ් දෙරටටම පහර දීමට තරම් තුරුම්පු තබාගෙන සිටින බවට ද ඇතැමෙක් පෙන්වා දී තිබේ. සිරියාව වැනි රටක උග‍්‍ර වී ඇති ත‍්‍රස්ත අර්බුදයට විසඳුම් දෙමින් ක‍්‍රමානුකූලව එහි සිය බලය පතුරුවා ගන්නා රුසියානු පාලකයා රහසේම තම සන්නද්ධ බළකා ශක්තිමත් කරන්නේ තෙවැනි ලෝක යුද්ධයකට සූදානම් වනවා සේ ය. තම රට තුළ තම ජනතාවට බොහෝ පහසු ජීවිතයක් අත්කර දෙන පුටින් ජනප‍්‍රියත්වය, ප‍්‍රසිද්ධිය, ගෞරවය ඉන් රඳවා තබාගැනීමට සමත් වී සිටියි. එ් අතර බටහිරට නරකම සතුරා වෙමින් ලොව බලවත්ම නායකයකු හා දැඩි පාලකයකු ලෙස කි‍්‍රම්ලිනය ශෛලමය, සන්නද්ධ බලකොටුවක් සේ ලෝක දේශපාලනය තම අල්ලේ නටවන නායකයකු ලෙස ඇතැමුන් පුටින් හඳුන්වනු ලබයි. පුටින් ජයග‍්‍රහණයෙන් ඉහත කිසිදු ගැටලූවක් උග‍්‍රවීම විනා සමනයක් සිදුනොවනු ඇති බවට ද ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. එහෙත් මෑත කාලීන රුසියානු දේශපාලනය විමසූ කල එ් සෑම අර්බුදයක් මධ්‍යයේ රුසියාව තව තවත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැගී සිටුවන තනි මිනිසා විය හැක්කේ ද පුටින්ට පමණක් බව ඔවුන්ගේ අදහසයි. මේ අනුව ඉදිරි වසර 6ත් රුසියාව ‘ලෝක දේශපාලනයේ උපායමාර්ගික තාක්ෂණ මධ්‍යස්ථානය’ බව ද ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බටහිර නිහඬයි

පුටින්ගේ ජයග‍්‍රහණය පිළිබඳ බටහිර රටවල නිහඬතාවක් පැවැතීම ද විශේෂ කරුණක් විය. කෙසේවෙතත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් සුබ පැතුම් එක්කරමින් පවසා තිබුණේ මෙම ජය හමුවේ ඉතිහාසයේ හොඳම තැනට දෙරටේ මිතුදම පැමිණි බවයි. ජර්මානු අගමැතිනි ඇන්ජෙලා මාර්කෙල් ද පුටින්ට සුබපැතුම් යවා තිබුණි.