රිවිර ඊයේ (19) වාර්තා කළේ පසුගිය දිනවල කතාබහට ලක්වූ අලුත්කඩේ උසාවි සංකීර්ණයෙන් හමුවූ කොස් මල්ලි නමැත්තාගේ හිස අඟුණකොළපැලැස්සේ සිට කොළඹට ගෙනැවිත් තිබෙන බවය. ඔහුගේ මළසිරුර පතල් වළකට දමා වසා ඇති බවද හෙළිවී තිබේ. කොස් මල්ලි නමැත්තා ඝාතනය කිරීමට පෙර ඔහු ගස් බැඳ වධ දෙන ඡායාරූප මුහුණු ‍පොතේ පිටුවකද පළකර තිබිණ. සැබැවින්ම අප මේ දකිමින් සිටින්නේ සිහිනයක්ද? එසේත් නොමැති නම් දකුණු ඉන්දියාවේ ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාද යන ප්‍රශ්න සාමකාමී පුරවැසියන්ට ඇතිවීම නොවැළැක්විය හැකිය. සැබැවින්ම යම් පුද්ගලයකු ඝාතනය කර මෙතරම් දුරක් ඔහුගේ හිස කොළඹට රැගෙන ඒම මගින් පැහැදිලි වන්නේ මෙරට සමාජය කෙතරම් අනාරක්ෂිතද යන කරුණය. එහෙයින් පෙනෙන්නේ මේ රටේ අපරාධකාරයන්ට ‍පොලිසියේ හෝ නීතිය සම්බන්ධ අනික් අංශවල ඇහැට වැලි ගසා ඕනෑම සෙල්ලමක් කළ හැකි බව නොවේද? මෙවැනි පාතාල සෙල්ලම් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. වරක් නමගිය පාතාලයෙක් මහාධිකරණ විනිසුරුවරයකු ඝාතනය කළේය. ඒ විනිසුරු සරත් අඹේපිටිය මහතාය. එසේම විනිසුරුවරු රැසකටම පාතාලයේ තර්ජන ඒ කාලය තුළ දිගින් දිගටම එල්ල වී තිබිණි. බියක් සැකක් නොමැතිව අධිකරණය තුළ පාතාලය බෝම්බද පුපුරුවා හැරියේය. විනිසුරුවරයා නඩු අසද්දී විත්ති කූඩුයේ සිටියවුන්ට වෙඩි තබා ඝාතනයද කළේය. පහුගිය දිනවලදී මෙවැනි පාතාල සෙල්ලම් එක දිගට වාර්තා වීම සාමකාමී සමාජය බියෙන් සලිත කරයි.

මෙවන් පාතාල සෙල්ලම්වලට පසුගිය ආණ්ඩුව සමයේ නැවතීමේ තිත තැබුණද යහපාලනයේ යහපත්කම නිසාම දෝ නැවතත් පාතාලය හිස ඔසවා ඇත්තේ ‍පොලිසියටද කොකා පෙන්වමිනි.
මේ ආකාරයට පාතාලය හිස ඔසොවන්නේ කෙසේද? පාතාලයේ හිස එසැවීමෙන් පෙනෙන්නේ මෙරට සාමකාමී නිරායුධ පුද්ගලයකුට තම ජීවිතය පිළිබඳ කිසිම සහතිකයක් නොමැති බවයි. ඕනෑම වෙලාවක, ඕනෑම අවස්ථාවක අපගේ ජීවිතය පාතාල අපරාධකරුවකුගේ වෙඩි උණ්ඩයකට ගොදුරු විය හැකිය. මෙවැනි අනාරක්ෂිත බවක් සමාජය තුළ ඇතිවී තිබේ නම් එයට ආණ්ඩුව වගකිව යුතුය. මෙහි තිබෙන භයානක තත්ත්වය නම් පහුගිය කාලයේ වාර්තා වූ බොහෝ පාතාල අපරාධ මෙහෙයවා තිබෙන්නේ මෙරටින් බැහැරව සිටින පාතාල කල්ලි අපරාධකරුවකු විසිනි. පාතාලයේ මේ නැගිටීම පාලනය කරගැනීමට ‍පොලිසිය සහ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතත් තවමත් එහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නැති තරම්ය. පාතාලයේ බිහිසුණු ඝාතනයක් ගැන සතියකට වරක් දෙවරක්වත් අසන්නට ලැබෙන්නේ ඒ නිසාය. ඒ ගොන්නට අලුතින්ම සිදුවීමක් ඊයේද (19) එක්විය. එය වාර්තා වන්නේ ආමර්වීදියෙනි. එලෙස රටින් බැහැරව සිට අපරාධ මෙහෙයවිය හැකි නම් මෙරට සමාජය අනාරක්ෂිත කළ හැකි නම් ඕනෑම ඉලක්කයක් සපුරාගත හැකි නම් රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව ගැන කවර කතාද? මෙහි නොයෙක් බුද්ධි අංශ සිටී. විවිධ බළඇණිවලින්ද අඩුවක් නැත. නොයෙක් මර්දන ඒකකවලින්ද අඩුවක් නැත. මෙරට බුද්ධි අංශය දෙස බලන කල නම් කොටි සංවිධානය පරාජය කිරීමට බුද්ධි තොරතුරු තක්සේරු කළ ජයග්‍රාහී බුද්ධි අංශයක් අපට තිබුණි. එපමණක් නොව පිටරට සිටි කොටි නායකයන් පවා කොටුකර ගැනීමට අපේ බුද්ධි අංශ සමත් විය. එවැනි ජයග්‍රාහී බුද්ධි අංශයකට මෙකී පාතාල කණ්ඩායම් හසුකර ගැනීමට නොහැකි යැයි අප කිසිසේත්ම සිතන්නේ නැත. එසේ නම් වරද කොතැනද? ඒ අන් කිසි තැනක නොව, දේශපාලනය තුළය.

මෙරට සියලුම පාතාල කණ්ඩායම් පිටුපස දේශපාලනඥයෝ සිටිති. එම පාතාල කණ්ඩායම් මෙහෙයවන්නේ දේශපාලන න්‍යායපත්‍රයක්ද සහිතවය. ඒ පාතාල නායකයන් ආරක්ෂා කරන දේශපාලනඥයෝ මෙයට පෙරද සිටියහ. 80 දශකය අග භාගයේ මෙරට දේශපාලන ක්ෂේත්‍ර විමසීමෙන් එය මනාව පැහැදිලි වේ. දැනුදු පාතාල අපරාධකරුවන් රකින, වුවමනා වූ විටෙක ඔවුන් මෙරටට ගෙන්වන, තවත් වෙලාවකදී ඔවුන් මෙරටින් පිටමං කරන දේශපාලනඥයෝ සිටිති. පාතාලය මර්දනය කළ නොහැක්කේ මෙවැනි සමාජ සතුරන් නිසාය. මෙය කිසිසේත්ම සැඟවිය නොහැකි යථාර්ථයකි. යහපාලන මූලධර්ම කතා කරගෙන රට භාරගත්තද මේ ආණ්ඩුවටද ඒ පාතාලයට අනුබල දෙන දේශපාලනඥයන් මට්ටු කිරීමට නොහැකි වී තිබේ. එනිසා සමාජය අනාරක්ෂිත තැනකට ඇද දමා තිබෙන පාතාල කණ්ඩායම්වල සෙල්ලම් අවසන් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගත යුතුය. එසේ නොවුවහොත් හෙට දිනයේදී සියලු දෙනාගේ ජීවිත පාතාල කණ්ඩායම්වල කෙළි බඩුවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.