විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන අස්ථාවර තත්ත්වය හමුවේ බලගතු ආණ්ඩුක්‍රම සංශෝධනයක් වන ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට හොඳම අවස්ථාවක් බව ජනතා විමුක්ති පෙරමුණු නායකයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමෙන් අනතුරුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෙරංජලා වික්‍රමසිංහ