විදුලිය සහ ඛනිජ තෙල් අලෙවිය සඳහා මිල සූත්‍රයක් ඉදිරි මාස කිහිපය ඇතුළත හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) කොළඹදී පැවැති ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මුදල් අමාත්‍යාංශය විසින් විදුලි බල මණ්ඩලයට සහ ඛනිජ තෙල් සංස්ථාවට මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කෙරුණේ පසුගිය වසරේදීය. විශේෂයෙන්ම ලෝක වෙළෙඳ‍පොළේ මිල වෙනස්වීමට අනුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් දේශීය වෙනස්වීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එසේම ඩීසල් මිල උච්චාවචනයන්ට අනුව විදුලිය මිල ගණනය ද වෙනස් වන බැවින් විදුලි ඒකකයක මිල තීරණය කිරීම සඳහා ද මිල සූත්‍රයක අවශ්‍යතාව පැහැදිලි කෙරිණි.

මෙම මිල සූත්‍ර පිළිබඳව ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන තීන්දු මත වෙනස් නොවන ආකාරයට ස්ථිරසාරව පවතින මිල සූත්‍රයක් ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවයි. ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවත් ඉතාම ඉක්මනින් මෙම මිල සූත්‍රය හඳුන්වා දෙන බවත් මුදල් ඇමැතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ