අපි ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැන ඇඳිනගෙන සිටියේ මහත්වරුන්ගේ ක‍්‍රීඩාව ලෙසයි. එය මහත්වරුන්ගේ ක‍්‍රීඩාව ලෙස හඳුන්වන්නේ අතීතයේ මෙය බි‍්‍රතාන්‍ය රාජකීයයන් අතරින් පැමිණි ක‍්‍රීඩාවක් නිසා වන්නට ඇත. කෙසේ වෙතත් මේ මහත්වරුන්ගේ ක‍්‍රීඩාව වැඩි වශයෙන් ජනප‍්‍රිය වූයේ යුරෝපයේ හෝ ඇමරිකානු කලාපයේ නොව ආසියානු කලාපයේය.

අද වන විට ක‍්‍රිකට් ආසියාවේ ධන උල්පතක් බවටද පත්ව අවසන්ය. ආසියාවේ තත්ත්වය මෙසේ වන විට ක‍්‍රිකට් උපන් බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රියම ක‍්‍රීඩාව පාපන්දු බවට පත්ව ඇත. ඒ අනුව මහත්වරුන්ගේ ක‍්‍රීඩාව ආසියාවට දී ඔවුන් පාපන්දුව තදින් වැලඳගත් බව පෙනෙන්නට ඇත.

ආසියාවේ ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, පාකිස්තානය සහ බංගලාදේශය සිය ක‍්‍රිකට් අණසක පතුරුවාගෙන සිටින රටවල්ය. දැන් මහත්වරුන්ගේ ක‍්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට මේ රටවල්වලට වගකීමක් පැවරී ඇත. කෙසේ වුවත් පසුගිය දා ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වූ තරගයේ දී එකී මහත්වරුන්ගේ ක‍්‍රීඩාව කාඩයන්ගේ ක‍්‍රීඩාව බවට පත්කළ බව අපි දුටුවෙමු. ඒ අන්කිසිවක් නිසා නොව බංගලාදේශ කණ්ඩායමේ අතිශය නොහික්මුණු හැසිරීම නිසාය. ඔවුන් එදා හැසිරුණේ මිට පෙර කිසිදු කණ්ඩායමක් ක‍්‍රිකට් පිටියකදී හැසිරුණු ආකාරයට හාත්පසින්ම වෙනස් විදිහකටය.

ක‍්‍රීඩා තරගයක් අතරතුර හැල හැප්පීම්, වචන හුවමාරු සාමාන්‍ය කාරණාය. නමුත් ක‍්‍රීඩාගාරයේ වීදුරු කුඩුකර මැරයන් සේ හැසිරීම ක‍්‍රීඩකයන්ට කොහෙත්ම ඔබින්නේ නැත. බංගලාදේශය පසුගිය සිකුරාදා හැසිරුණේ ක‍්‍රීඩකයන් ලෙසින් නොවේ. ඔවුන් පරාජය ආසන්නයට පැමිණි මොහොතක පරාජය දරාගැනීමට නොහැකිව ප‍්‍රචණ්ඩව හැසිරුණු අතර අවසානයේ ජයග‍්‍රහණය ලැබූ පසු හැසිරුණේද ඒ ආකාරයටමය. අපි මීට පෙර එවන් හැසිරීම් දැක ඇත්තේ පේ‍්‍රක්ෂකයන්ගෙන්ය. බංගලාදේශ කණ්ඩායමේ අතිරේක ක‍්‍රීඩකයෙක් පිටිය මැදට පැමිණ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට බැණ වැදුණු අයුරු දුටු විට දැනුණේ ඔවුන්ගේ විනයක තරමය. සාමාන්‍යයෙන්  ඕනෑම ක‍්‍රීඩකයකු ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක නායකයකුට දක්වන්නේ ගෞරවනීය සැලකීමකි. නමුත් පෙර කී ක‍්‍රීඩකය ක‍්‍රීඩාවේ ජීව ගුණය ගැන හෝ තුට්ටුවකටවත් මායිම් නොකර පෙන්වූයේ පාරේ බේබද්දකුගේ හැසිරීමය.

එම අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයන්ගේ හික්මීම ගැන කතා නොකරම බැරිය. තිසර පෙරේරාගේ මුහුණටම බැණ වදින අවස්ථාවේ පවා ඔහු තමන්ගේ හැඟීම් පාලනය කරගෙන නායකයාගේ භූමිකාව හරියට ඉටු කළේය. එසේම ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන් බංග්ලාදේශ රංගනය හමුවේ නිහඬව සිටීම තුළ පවා පෙන්වූයේ මෙරට පේ‍්‍රක්ෂකයන්ගේ විනයයි. වැරදිලා හෝ අපේ පේ‍්‍රක්ෂකයෙක් බෝතල් ප‍්‍රහාරයක් බංගලාදේශ කණ්ඩායම  දෙසට එල්ල කළා නම් එදා වෙනත් විදිහේ ගින්නක් මාලිගාවත්තෙන් යළිත් ඇවිළීමට ඉඩ තිබුණි. අවසන් මාධ්‍ය හමුවේදී බංගලාදේශයේ ෂකිබ් අල් හසන් පැවසුවේ අපි හොඳට තුන පහ ජාති කෑමට දමා කන ජාතියක් නිසා මෙවැනි ගැටුමක් ඇති වීමෙන්  ක‍්‍රීඩාවේ තරගකාරී බව වැඩි වන බවයි. වැරදිලා හෝ බංගලාදේශයේ තුන පහ සැර බස්සන්න අපේ පේ‍්‍රක්ෂකයන්ගේ දෙහි ඇඹුල් එක් වුණා නම් ආර්. පේ‍්‍රමදාස පිටිය ගිනි කෙළියක් වීමටද ඉඩ තිබුණි.

බංගලාදේශය ක‍්‍රිකට් ඉගෙන ගන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දෙස බලාගෙන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔවුන්ට ක‍්‍රිකට් උගන්වන්න වෙනත් රටවල් ගණන් උස්සද්දී අපේ රටේ චම්පික රාමනායකලා, චන්දික හතුරුසිංහලා, තිලාන් සමරවීරලා කිසිදු පැකිලීමකින් තොරව සිය දැනුම බෙදාදුන්හ. ඔවුහු ඒ දැනුම මතින් ඉදිරියට පැමිණ අවසානයේ අපිටම නයා පෙන්වූහ. ඉන්දියාව ක‍්‍රිකට් ලෝකයේ බලය පතුරුවා සිය අණසක පතුරුවද්දී බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව යම් සහෝදරත්වයක් ගොඩ නගාගෙන එකිනෙකා දිරිගන්වන ක‍්‍රිකට් ක‍්‍රීඩාවක නියැළුණු අයුරු පසුගිය කාලයේ අපි දුටුවෙමු. නමුත් එක් රැුයකින් ඒ රැුකගෙන ආ සියල්ල විනාශ කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක‍්‍රීඩකයන්ගේ හැසිරීම හේතුවක් වී ඇති බව නොකියා බැරිය.