සුපර් ස්‍පෝටර්ස් වොලිබෝල් තරගාවලියේ අනුග්‍රහය ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට DSI සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා අනුග්‍රාහක චෙක්පත පිළිගැන්වූ මොහොත. මේ අවස්ථාවට DSI සමාගමේ අධ්‍යක්ෂිකා කෞශල්‍ය පෙරේරා හා අලෙවි කළමනාකාර උපේන්ද්‍ර ද සිල්වාද වොලිබෝල් සම්මේලනයේ ‍ලේකම් ඒ. එස්. නායල සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ද සහභගි වි සිටියහ.

ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්වී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයා වන DSI සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව 18 වැනි වරට සංවිධානය කරන DSI සුපර් ස්‍පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය මෙවරද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට පියවර ගෙන ඇත.

පළමුවරට 1999 වසරේදි නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන් නියෝජනය කරන පාසල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමට ළඟාවීමෙන් අනතුරුව ජාත්‍යන්තරය ජයගැනීමටත් අවශ්‍ය වන පසුබිම නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් ච්ඉ සමාගම මෙම තරගාවලිය හඳුන්වාදීමට පුරෝගාමී වී තිබිණි.

එම මංගල පියවර පාසල් 198ක සහභාගිත්වයෙන් ඇරඹුණද මේ වනවිට රටතුළ විශාලතම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන ජනප්‍රිය පාසල් තරගාවලියක් බවට පත්ව ඇති අතර මෙවර සහභාගිත්වය පාසල් කණ්ඩායම් 4500 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මතෛක් කාලයක් අවුරුදු 13, 15, 17 හා 19 යන වයස් කාණ්ඩ යටතේ බාලක, බාලිකා වශයෙන් පවත්වන ලද මෙම තරගාවලිය මෙවර අවුරුදු 11න් පහළ බාලක බාලිකා වයස් කාණ්ඩද එක්කර තිබිමය. තරගාවලිය පළමුව දිස්ත්‍රික් මට්ටමින් පවත්වා අනතුරුව සෑම දිස්ත්‍රික්කයම වයස් කාණ්ඩ පහේම බාලක බාලිකා ශූරතා, අනුශූරතා දිනාගත් කණ්ඩායම් ජාතික මට්ටමේ තරගාලියට තෝරා ගැනීමට නියමිතය.

එහිදි දිස්ත්‍රික් තරග අප්‍රේල් 27 සිට මැයි 01 දක්වාද ජාතික මට්ටමේ තරග මැයි 31 සිට ජූලි 02 දක්වාද පවත්වා වයස් කාණ්ඩ පහේම අවසන් මහා තරග අගෝස්තු 03 සහ 04 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ වනවිටත් අවශ්‍ය අයදුම්පත් පාසල් වෙත යොමුකර ඇති නමුත් එම අයදුම්පත් ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති DSI ප්‍රදර්ශනාගාරවලින්ද ලබාගත හැකිය.

සියලුම අයදුම්පත් අප්‍රේල් 06 වැනි දිනට පෙර ප්‍රදර්ශනාගාර වෙත භාරදීම හෝ අංක 257, හයිලෙවල් පාර නාවින්න මහරගම යන ලිපිනයට යොමුකළ යුතු බව දන්වා සිටී.

සීවලී එදිරිවීර