ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයේ ඇති වූ අශෝභන සිදුවීම සම්බන්ධයෙන් අයි.සී.සී. පරීක්ෂණ සිදුකර තීරණය මේ වනවිට ලබා දී ඇත. තරගය නිමාවට පන්දු දෙකක් තිබියදී නිපන්දුවක් ලබා නොදුන් බවට විරෝධය පා සිය පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත කැඳවීමට නායක ශකීබ් අල් හසන් උත්සාහයක නිරත වීමෙන් පසුව ජයග්‍රහණයෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩා විවේකාගාරයේ වීදුරු බිඳ අලාභහානි කර ඇති අයුරුද ප්‍රසිද්ධියට පත්වී ඇති නිසා ඒවා පිළිබඳව අයි. සී. සී. වඩාත් සැලකිල්ලට ගෙන ඇත.

මේ අනුව හකීබ් අල් හසන්ට හා අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25ක දඩයක් හා දෙදෙනාම අසාදු ලකුණක්ද හිමිවීම අයි. සී.සීය නිවේදනය කරයි

නුරුල් හසන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා වෙත ඇඟිල්ල දිගුකර කෝපයෙන් කිසිවක් ප්‍රකාශ කරන බව මාධ්‍යයේද පළවීම නිසා තහවුරු වී ඇත. අයි.සී.සී තරග තීරක ක්‍රිස් බෝඩ් ජගත් මට්ටමේ තරගයකදී මෙවැනි සිදුවීම් දකින්නට ලැබිම ඉතා කනගාටුදායක බවත් විනිසුරුවන් එම අවස්ථාවේදී මැදිහත් නොවීමේ තත්ත්වය මීටත් වඩා කනගාටුදායක වන බවද වාර්තා කර ඇත. කෙසේ වුවත් තරගය අවසානයේ බංග්ලාදේශය කඩුලු 2ක ජයක් ලැබුවද මෙය වඩාත් අප්‍රසාදය මධ්‍යයේ ලබාගත් ජයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරගයේ අවසානයේ ඇති වූ සිද්ධිය පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි. ශකීබ් අල් හසන් නායකයා ලෙස ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම සම්බන්ධයෙන් මිට වඩා සැලකිලිමත් විය යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දි ඇත.

කෙසේ වුවත් මෙම අශෝභන සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රීකයන්ගේ හැසිරීම වඩාත් ඉහළ මට්ටමේ තිබූ බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ජය පරාජය කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ විනය වඩාත් ඉහළ මට්ටමක ක්‍රීඩාවේ රඳවා ගත යුතුය.

අවසන් ඕවරයේදි යම් ලෙසකින් බංග්ලාදේශ නායකයා දුන් අණ පිළිපැදීමෙන් මහමුදුල්ලා හා රුබෙල් හුසේන් පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් වූවා නම් ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවනු ඇත. එහෙත් මෙහිදී ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩකයන් මැදිහත් වී නැවතත් බංග්ලාදේශ පිතිකරු යුගලය පිටියේ තබා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් සිදුවීමකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල නිදහස් කුසලානයේ බංග්ලාදේශය වෙතින් පිටපිට දෙවරක්ම පරාජය වීම සැලකිල්ලට ගත යුතුය. මුල්පෙළ පිතිකරුකරුවන්ගේ පසුබැමෙන් තීරණාත්මක තරගයේ ලකුණු 41ට කඩුලු 5ක් බිඳ වැටීම තුල නායක තිසර පෙරේරා හා කුසල් ජනිත් පෙරේරාට ඉනිම ගොඩනැගීමට සිදුවිය. තෘප්තිමත් ලෙස පන්දු යැවීම ඉහළ මට්ටමේ සිදුනොවීමද වඩාත් ශ්‍රී ලංකා පිලට පීඩනයක් දීමට හේතුවිය.

ධම්මික රත්නවීර

Untitled-2