නිල්මිණි-සේමිණි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතාවෙන් පිරිපුන් ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ නිසා අද මුහුණට මුහුණ ඔවුන් වෙනුවෙන් වෙන් කළා.

නිල්මිණිගෙන් සේමිණිට

විවාහයෙන් පසුව ඔබ රංගනයට එකතු වෙන්නේ. ධම්මික කැමති වුණාද ඔබ රඟපාන්න යනවාට?
ඔව්, ශ්‍රියානි අමරසේනගේ ඉරබට තරුව කියන ටෙලි නාට්‍යයට තමයි මුලින්ම ආරාධනා ලැබුණේ. මම නැවතිලා හිටපු ‍පොලිස් නිල නිවාසෙට තමයි දුරකථන ඇමතුම් ආවේ. මම ධම්මිකත් එක්ක ඒ ගැන කතා කළා. ඔහු දන්නවා මම ගාව දක්ෂතාවක් තිබුණා කියලා. ධම්මික කීවා දක්ෂතාව තියෙන නිසා භාරගන්න කියලා. ඔහුගේ ආශීර්වාදය නොමැති නම් අද මම මෙතැන නැහැ.

ඔබ පළමු නිර්මාණයෙන්ම හොඳ පුරුදුකාරියක් විදිහට රඟපෑවා. ධම්මිකට ඊරිසියා හිතුණද?
නැහැ. ඉරබට තරුව මගේ පළමු නාට්‍යය වගේම මට හොඳම නැගී එන නිළිය සුමති සම්මානය හම්බ වුණා. ඒ දවස්වල මම ක්ෂේත්‍රයට අලුත් නිසා ඔහු මාව ෂූටින්වලට එක්කන් යනවා. මට ආදර ජවනිකා එහෙම රඟපාන්න අමාරුයි ඔහු ළඟ ඉද්දි. ඔහුට ඒක ගාණක් තිබුණේ නැහැ. ඇතැම් වෙලාවට ඔහු කියනවා එතැන ස්වභාවික නැහැ කියලා.

ඔබට හොඳ රංගන කුසලතාවක් තියෙනවා. මීට වඩා දෙයක් කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මම තෝරා බේරාගෙන තමයි නිර්මාණවල රඟපෑවේ. දුව හමුබ වුණාට පස්සේ මට සම්පූර්ණ කාලය කලාවට යොදවන්න බැරිවුණා. මට තව අවස්ථා ලැබුණා නම් කරන්න තිබුණ කියලා හිතෙනවා.

ඔබ ටිකක් විතර ආඩම්බරයි. දෙයක් මූණටම කියනවා. අසරණ අයට උදව් කරනවා. ඒත් ඔබට ගොඩක් තරහා යනවා. ඒ ඇයි?
අසාධාරණය වැරැද්දක් දැක්කාම මට කේන්ති යනවා. ඒක මනුස්ස ස්වභාවයක්. ඒක මම හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ වෙලාවට විතරයි තරහ, කේන්තිය තියෙන්නේ.

ඔබ ළමයින්ට ගොඩක් ආදරෙයි. දියණිය කුසට ආපු දවසේ ඒ සතුට මම ඇස් දෙකෙන්ම දැක්කා. දුව කවදා හරි විවාහවෙලා යන දවසට මොන වගේ හැඟීමක් දැනෙයිද?
ඒ දේ නම් තියාගන්න බැහැ. නන්දා මාලනී මහත්මියගේ සින්දුව ඇහෙද්දී. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සින්දුව ඇහෙද්දී මටයි, ධම්මිකටයි ඇස්වල කඳුළු පිරෙනවා. ඒ වෙලාවට හිතෙන්නේ අපේ දුව යද්දි අපිට කොහොම දැනෙයිද කියලා. නිල්මිණි අක්කට මට වඩා දරුණු විදිහට ඒ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. එයාට තනියම ඒක දරාගන්න වේවි. නිල්මිණි අක්කයි, මමයි ටෙලි නාට්‍යවල චිත්‍රපටවල අඬලා තියෙනවා. හැබැයි මේක නවත්ත ගන්න පුළුවන් කඳුළක් නොවේවි.

 සේමිණිගෙන් නිල්මිණිට

රංගනය ඉගෙන ගත්ත දෙයක්ද? සහජයෙන් ලැබුණු දෙයක්ද?
සහජයෙන් ලැබුණු දෙයක් කියලා මම විශ්වාස කරනවා. මම පාස‍ලේදී මාස අටක වගේ කාලයක් නාට්‍ය  හා රංග කලාව ඉගෙන ගත්තා.

ඔබ කාට හරි වෛර කරනවාද?
මම ජීවිතේ කාටවත් වෛර කරන්නේ නැහැ. යටි හිතේ කුකුසක් තියෙනවා. මගේ විවාහ ජීවිතයට බාධා ඇති කරපු අය ගැන කලකිරීමක් තියෙනවා.

ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද? කරදරයක්ද?
කරදරයක් කරගෙන නැහැ. ඒ දේ මට ආභරණයක්. ජීවිතේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ආසයි. ඒක ලබාගන්න බැරිවුණාම කරදරයක් වෙනවා.

ජීවිතේ ගොඩක් අභියෝගවලට මුහුණදීපු කෙනෙක් විදිහට කොහොමද ඔච්චර ලස්සනට හිනාවෙලා ඉන්නේ?
ඒ දේ මට දෙයියෝ දීපු දෙයක්. ඒක මගේ හිතේ ශක්තිය. මට ඒ ශක්තිය ලැබෙන්නේ මගේ ඇඳ උඩ හැමදාම නිදාගෙන ඉන්න මගේ දුවගේ මුහුණ දැක්කහම.

මොරටුවේ පල්ලියේ නැටුම් පන්තියට යද්දි හිත නතර කරපු පිරිමි ළමයා නැවත මුණගැහුණොත්?
අ‍පෝ නැහැ. ඒක පාසල් යන කා‍ලේ ඇතිවුණු ආකර්ෂණයක්.

තිළිණි කරුණාරත්න