අමෙරිකාව තුළ පළමු වරට ගිනි අවි සඳහා එරෙහි වීමේ දැවැන්තම සිසු විරෝධතාව එරට සියලූම ප‍්‍රාන්තවල පාසල්වල පවත්වා තිබේ. එ් එරට පාසල් සිසුන් සියල්ලෝම පෙරවරු 10.00ට පන්ති කාමරයෙන් ඉවතට පැමිණ විනාඩි 17ක කාලයක් ධවල මන්දිරය ඇතුළු රජයේ ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමෙනි. විරෝධතාවේ පළමු විනාඩිය ෆ්ලොරිඩාහි පසුගියදා වෙඩිතැබීමකින් මියගිය සිසුන් 17 දෙනා සිහිපත් කිරීමට යොදාගෙන තිබූ අතර ඉන් අනතුරුව විරෝධතාව පැවැත්වූ බව එරට වාර්තා පැවැසීය. ”යළි කවදාවත් එපා” ”ඊළඟ ඉලක්කය මමද?” ”වෙඩි තියන්න එපා” ආදී පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් රජයට බලකිරීමේ විරෝධතාව පැවැත්වීය. ලොස් ඇන්ජලීස්හි ග‍්‍රනාඩා හිල්ස් චාටර් උසස් අධ්‍යාපන ආයතනයේ පාපන්දු ක‍්‍රීඩාංගණයක් තුළ සිසුන් ‘දැන් ඇති’ යනුවෙන් ඝෝෂා කරමින් “Enough” යන අකුරුවල හැඩයට සිටිමින් විරෝධතාව පැවැත්වීය.

සිසුන්ගේ ඉල්ලීම් වූයේ අමෙරිකාව තුළ ගිනි අවි තහනම් කිරීම, ගිනි අවි අලෙවිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය, සීමා පැනවීම, ගිනි අවි භාවිතයෙන් වන ජීවිත විනාශය අවම කිරීම සඳහා නව නීති පැනවීම යන කරුණුයි. මෙම විරෝධතාව එක් ප‍්‍රධාන පාසලක සිසුන් පමණක් කිරීමට සැලසුම් කර තිබුණ ද එ් පිළිබඳ දැනගත් රටේ බොහෝ නගරවල පාසල් සිසුන් ද විරෝධතාව සඳහා පන්ති කාමරයෙන් නැගිට ඉවතට ගොස් විරෝධතාව පැවැත්වීය. කෙසේවෙතත් විරෝධතාවට සහභාගි වූ සිසුන්ට පාසල් තුළින් දඬුවම් කිරීමට කටයුතු කිරීමේ ඉඩක් ද ඇතැයි එම සිසුන් පවසා තිබේ. ඇතැම්විට මෙම විරෝධතාව පොලිස් සිර මැදිරියෙන් කෙළවර වීමට ඉඩ තිබූ බවත් එසේ වුවත් මෙම හඬ ඉල්ලීම් ඉටුවනතුරු සිදුකරන බවත් අමෙරිකානු පාසල් සිසුන් පවසා ඇත.