• කුසල් යුගලයට තීරණාත්මක තරගයේ වැඩි වගකීමක්
  • ෂකීබ් අල් හසන් හදිසියේ එක් කිරීමේ සැලසුමක්

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමේ තීරණාත්මක තරගයට අද (16) ශ්‍රී ලංකා පිල මුහුණ දෙන්නේ බංග්ලාදේශ පිල කෙසේ හෝ පරාජය කිරීම සඳහාය. අනිවාර්යයෙන්ම ජයගත යුතු මෙම තරගය ශ්‍රී ලංකා පිලට අභියෝගයක් වී ඇත්තේ මීට පෙර ප්‍රථම වටයේ දී බංග්ලාදේශ පිල වෙතින් අනපේක්ෂිත පරාජයක් ලැබූ හෙයිනි.

ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගොස් මුල් තරගයේ දී බංග්ලාදේශය ජය ලැබිමේදී ජයග්‍රහණයේ නියමුවා වූ පළපුරුදු ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම් බදාදා (14) ඉන්දියාව සමග පැවති තරගයේ දී ද නැවතත් නොදැවී ලකුණු 72 ක් ලැබිම නිසා ඔහුගේ කඩුල්ල ඉක්මනින් ලබා ගැනීම ශ්‍රී ලංකා පිලට අස්වැසිල්ලක් වනු ඇත. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරණය වඩාත් ඉහළ මට්ටමක පැවතියද අවසන් ඉන්දීය තරගයේ දී ඉනිම ලකුණු 152 කට සීමා වීම නිසා පිතිකරුවන්ට ද නැවතත් ලොකු අභියෝගයක් ලැබි ඇත්තේ අඛණ්ඩ දක්ෂතා පවත්වා ගැනීම වැදගත් හෙයිනි. කුසල් මෙන්ඩිස් පිට පිට අර්ධ ශතක 2 ක් ලබා තරගාවලියේ සාර්ථක ආරම්භයකට මුල පුරා ඇති අතර ඔහු අවසන් ඉන්දීය තරගයේ දී පන්දු රැකීමේ දී ආබාධයට පත්ව අද තරගයට නැවතත් ශාරීරික යෝග්‍යතාවට පැමිණීම අස්වැසිල්ලක් වනු ඇත.

කුසල් ජනිත් පෙරේරා ප්‍රහාරාත්මක පිතිකරණයද නැවතත් අද තරගයේ දී මතුවීම වඩාත් වැදගත් වන්නේ ඒ තුළ බංග්ලාදේශ පන්දු යවන්නන් පීඩනයකට හසුකර ගත හැකිය.

අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක දඟ පන්දුවට වැඩි අගයක් එක්කළ යුතු වන්නේ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීරට හා සුරංග ලක්මාල්ට සහාය වැදගත් වන හෙයිනි. කෙසේ වුවත් වේගපන්දු යවන්නන් වඩාත් සාර්ථක නොවීම ශ්‍රී ලංකා පිලට යම් පීඩනයක් මතෛක් ගෙන දී ඇත.

මේ අතර බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ආබාධයක් නිසා ඉවත්ව සිටියද හදිසියේ ගෙන්වා අද තරඟයට එක් කර කණ්ඩායම ශක්තිමත් කිරීමේ සැලසුමක් ඇති බව වාර්තා වේ. කෙසේ වුවත් විස්ස – 20 තරගයක් නිසා අඩුවෙන් වරද කරන කණ්ඩායමට ජය ලැබෙන නිසා මේ තරගය සාර්ථක කර අවසන් තරගයට පැමිණීමේ ඉලක්කය ශ්‍රී ලංකා පිල සැලසුම් කරනු ඇත.

නිදහස් කුසලානයේ අවසන් තරගය (18) ඉරිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ධම්මික රත්නවීර