ෆේස්බුක් වෙබ් අඩවිය වෙත පිවිසීමට තිබූ තාවකාලික අවහිරය ඉවත් කරමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි එය සකී‍්‍රය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝගයක් නිකුත් කර ඇත.

මේ අනුව ⁣මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීමත් සමඟ ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරමින් රජය විසින් ගනු ලැබූ තීරණය දින නවයකට පසු ඉවත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධානීහු සහ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධානීහු අද ඉන්දියාවේ සිට පැමිණි ෆේස්බුක් නියෝජිතයන් හමුවූහ.

එම හමුවේ තීරණය මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති අතර වෛරී ප්‍රකාශ සීමා කරන ලෙස රජය ඉල්ලා ඇතැයි දැනගන්නට තිබේ.

මෙම තාවකාලික සමාජ මාධ්‍ය අවහිරය හේතුවෙන්, පොදුවේ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන ප‍්‍රජාවට සිදු වූ අපහසුතාව පිළිබඳව රජය කණගාටුව පළ කර සිටීයි.