බද්දේගම, ෆෙඞ්රුස්වත්ත ප‍්‍රදේශයේ පාසල් වයසේ පසුවන පාසල් නොයන ළමයින් රැසක් සූදු කෙළියට හා හෙරොයින් පානයට ඇබ්බහැහි වී ඇතැයි බද්දේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත දිසානායක මහතා පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරයා එසේ පැවැසුවේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ 12 වැනිදා පැවැති බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේදීය.

එහිදී ස්ථානාධිපතිවරයා මෙසේ ද පැවසීය. හෙරොයින්වලට ඇබ්බැහිවෙච්ච අවුරුදු 08, 10, 12, වගේ දරුවෝ අපට හමුවෙලා තියෙනවා. මෙම දරුවන් දීර්ඝ කාලයක් පාසල් ගිහින් නැහැ. ඒ නිසා නැවත පාසල් ගත කිරීමේ දී ගැටලූ මතුවෙනවා. ඒකට ප‍්‍රධාන කාරණය වෙන්නේ එම ළමයින් නිසා පාසලේ දැනට සිටින ළමයින්ද සමාජ විරෝධී වැඩවලට යොමු වෙයි කියන එක. ඒ පිළිබඳව බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු කර විසඳුමක් දෙන්න.

හල්පතොට ග‍්‍රාම නිලධාරී ජගත් ගොඩකන්ද මහතා: මීට පෙර පාසල් නොයන ළමයින් 30ක් පමණ සිටියා. නමුත් වයස අවුරුදු 15 වැඩි ළමයින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කර තිබෙනවා. දැනට පාසල් නොයන ළමයින් 12 දෙනකු පමණ සිටිනවා.

පා.ම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා : පාසල් නොයෑමට හේතුව මොකද්ද?
ග‍්‍රාම නිලධාරී : එම ළමයින් පාසල් යෑමට උනන්දුවක් දක්වන්නේ නෑ. වයස අවුරුදු 12, 15 ළමයි උදේ වරුවේ බූරු පිටිවල බූරුවා ගහනවා. ඒ සමාජ පරිසරය වෙනස්. නගරයේ තියෙන සමාජ විරෝධී කි‍්‍රයාවලින් මේ ගම පිරිලා.
පා.ම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා : මේ සම්බන්ධයෙන් විශේෂ වැඩිපිළිවෙළක් සකස් කළ යුතුයි.
බද්දේගම පොලිස් ස්ථානාධිපති : ඇතැම් ළමයින් සොරකම්, ඇතුළු නීති විරෝධී කි‍්‍රයාවලට පෙලඹිලා. අම්පේගම ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් ගංජා පාසලට අරගෙන ගිහින් පංතියේ ළමයින්ටත් බොන්න දීපු සිද්ධියක් වාර්තා වුණා. එම ගම්මානයේ ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ නිසා සහතික කළ පාසලකට එම ළමයින් යොමු කිරීමට අවධානය යොමු කළ යුතුයි.

පා.ම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා : මේ සම්බන්ධයෙන් බද්දේගම ප‍්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත්වෙලා කඩිනම් පියවර ගන්න. බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරිනිය මේ ගැටලූ සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග ප‍්‍රමාණවත් නැහැ. එක් එක් ළමයා වෙනුවෙන් ගත හැකි කි‍්‍රයා මාර්ග මොනවාද යන්න වාර්තාවක් මගින් ඉදිරිපත් කරන්න. කෙසේ හෝ මේ දරුවන් සමාජයට වැඩදායී පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම වැඩිහිටියන් වන අප සැමගේ යුතු කමක්.

ඕෂධ කමලනාථ – බද්දේගම