ස්වර්ණාභරණ වෙළෙදසලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් රිදී හා රන් භාණ්ඩ තොගයක් හා සැකකරුවන් හතරදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් පෙරේදා(12) අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙදසලකට පසුගිය 05 දින අලූයම ඇතුළු වූ පිරිසක් වෙළෙදසලෙහි සේප්පුවක් කඩා එහි තිබූ රන් හා රිදී භාණ්ඩ තොගයක් සොරකම් කර පලා ගොස් ඇති බවට ආයතනයේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබුණි. වෙළෙදසලේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරුන් ගලවාගෙන ගොස් තිබී ඇත. මෙම සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ අංශය වෙත භාර දී තිබේ.

මේ අනුව පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද භාණ්ඩ රුවන්වැල්ල හා මාවනැල්ල ප‍්‍රදේශවල පිහිටි ස්වර්ණාභරණ වෙළෙදසල් දෙකකට අලෙවිකළ බවට පවසා තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් සොරකම් කරන ලද රිදී භාණ්ඩ තොගය රුවන්වැල්ල ප‍්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙදසලේ තිබියදීත් රන් භාණ්ඩ මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසලක තිබියදීත් සොයාගෙන ඇත. සොර භාණ්ඩ ළ`ග තබාගැනීමේ චෝදනාව යටතේ මෙම වෙළෙදසල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සොයාගත් භාණ්ඩ අතර කිලෝග‍්‍රෑම් පහක් පමණ බරින් යුත් රිදීයෙන් තනන ලද මාල, වළලූ, කාසි, අත්පල`දනා, පා සළඹ, ග‍්‍රෑම් හත්සීයක් පමණ බරින් යුත් රනින් නිම කරන ලද මාල, මුදු, කරාබු, අත් පලදනා, පෙන්ඩන්ට්, වළලූ හා රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු තුනක් ද තිබී ඇත. සොරකම සිදු කිරීමට උපයෝගී කරගත් මෝටර් රථයක් හා ජංගම දුරකථන පහක්ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ.රංගජීව, උප පොලිස් පරීක්ෂක කුමාර, පොලිස් සැරයන් චන්ද්‍රනාත්(25436), පොලිස් සැරයන් රියැදුරු නන්දසිරි(35005), පොලිස් කොස්තාපල්වරුන් වන මංජුල(44974), ගාමිණි(53724), සිරිවර්ධන(52721), රංජිත්(52712), ගුණසේකර(48327), සිරිවර්ධන(62427), නාමල්(35599), උදයංග(19894), චන්ද්‍රදාස(40006) හා හේරත්(74924) නිලධාරීන් විසින් සැකකරුවන් හා භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එස් මානගේ – බෙලිඅත්ත