රජය විසින් ෆේස්බුක් ඇතුළු සමාජජාල සඳහා පනවා ඇති තහනම සිකුරාදා (16) දිනය වන විට ඉවත් කෙරෙන බව විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ෆේස්බුක් ආයතනය සමග පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද, අද (14) රාත්‍රියේ දී ෆේස්බුක් ආයතනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙන බවද ඇමැතිවරයා එහිදී පැවසීය. මෙම කණ්ඩායම හෙට (15) දිනයේ දී ජනාධිපති ‍ලේකම්වරයා, අගමැතිවරයා, විෂය භාර ඇමැතිවරයා ඇතුළු පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා පවත්වනු ඇති බවත්, සිකුරාදා (16) දිනය වන විට සමාජ ජාල භාවිතය පිළිබඳ සියලු කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඇමැතිවරයා එම මාධ්‍ය හමුවේ දී මෙසේ ද පැවසීය.

“අපි දින තුනක වගේ කාලයක ඉඳලා ෆේස්බුක් ආයතනයත් එක්ක මේ ගැන ලියකියවිලි මට්ටමෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. ඔවුන්ගේ කණ්ඩායමක් අද බදාදා රාත්‍රියේ දී ලංකාවට එනවා. ඔවුන්ට ආයතනයක් විදිහට තිබුණු ප්‍රධානම ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ කුමන ආයතනයක් සමග කටයුතු කළ යුතුද කියන එක. මොකද මතෛක් ඔවුන් ගනුදෙනු කරලා තිබුණේ ලංකාවේ “සර්ට්” (ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය) එක්ක විතරයි. නමුත් අපි ඔවුන්ව දැනුවත් කළා ඉදිරියේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් එක්කත් ගනුදෙනු කළ යුතුයි කියලා. අනිත් එක ඔවුන්ට තියෙන භාෂා ප්‍රශ්නය. ප්‍රශ්න ඇතිකරන පිටු (ෆේස්බුක් ගිණුම්) තියෙනවා කියලා වාර්තා කළාට ඔවුන්ට සිංහල භාෂාවෙන් කටයුතු කිරීමට අවශ්‍ය මානව සම්පත හිඟ වීමත් ගැටලුවක් වෙලා තිබුණා.

කොහොම වුණත් දැන් මේ ගැටලුව විසඳාගෙන ඉදිරියට අපිත් එක්ක කටයුතු කරන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා.
ඉදිරියේ දී ෆේස්බුක් භාවිතයේ දී යම් සීමාවන්ට යටත් කෙරෙනවාදැයි “රිවිර” නැගූ ප්‍රශ්නයකට ඇමැතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.

“සාමාන්‍ය විදිහට භාවිත කරන්න පුළුවන්. නමුත් මින් ඉදිරියට වෛරී ප්‍රකාශ ඇතුළු ප්‍රචණ්ඩත්වය පතුරුවන ජාතික ආරක්ෂාවට බාධා ඇතිකරන ප්‍රකාශ, ක්‍රියාවලට ඉඩක් නැහැ. එවැනි ක්‍රියා සිදුකරන සියලු ගිණුම් නිරීක්ෂණය කෙරෙනවා. ඒ වගේම ඒවා වාර්තා කෙරෙනවා. දිගින් දිගටම එවැනි ක්‍රියා කරන බව වාර්තා වෙනවා නම් ඔවුන්ට එරෙහිව දරුණු ක්‍රමවේද හැදෙයි. ආයෙත් කවදාවත් වෙනස් නමකින් හෝ ෆේස්බුක් ගිණුමක් හදාගන්න බැරිවෙන්න ඔවුන්ව ඉවත් කරන්න සමාගම කටයුතු කරයි.”

ගෙවී ගිය වසර 02 ක කාලය ඇතුළත ෆේස්බුක් ගිණුම් භාවිත කරන ශ්‍රී ලාංකිකයන් පිරිස දෙගුණ වී ඇති බවත්, අද වන විට එම පිරිස මිලියන 6.5 ක් (ලක්ෂ 65 ක්) පමණ වන බවත් ඇමැතිවරයා පැවසීය. ෆේස්බුක් තහනම් කර තිබූ පසුගිය දිනවලදී නීතිවිරෝධී යෙදවුම් (ඒනනතඪජචබඪධදඵ) භාවිත කරමින් මිලියනයකට (ලක්ෂ 10 කට) ආසන්න පිරිසක් ෆේස්බුක් භාවිත කර ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කළේ ය.

මේ අතර වයිබර් සමාජ මාධ්‍ය ජාලය වෙත මතෛක් තාවකාලිකව පනවා තිබූ වාරණය ඊයේ (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

ව්‍යාපාරික ප්‍රජාවටත්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ටත්, කුඩා පරිමාණ ව්‍යවසායකයන්ටත් මෙම වාරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සිදු වී ඇති අපහසුතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් රජය මෙම තීරණය ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නයන තරංග ගමගේ