අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ ඒකාබද්ධ විපක්ෂයේ තීරණාත්මක හමුවක් අද (14) සවස 5.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැත් වීමට නියමිතව ඇත.

සමාජ වබේ අඩවි තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හා මේ වන විට මැතිවරණය පවත්වා සභිකයන් තෝරාගෙන තිබියදීත් පළාත් පාලන ආයතන පිහිටුවීම කල් දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹින් පිට පැවැත්වෙන කටයුතු කිහිපයකට එක්වීම හේතුවෙන් ඊයේ (13) සවස පැවැත් වීමට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද දින දක්වා කල් දමා තිබේ.
පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රටේ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒම ප්‍රමාද කළා මිස අත්හැරීමක් සිදු නොවුණු බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග පුද්ගලික මට්ටමෙන් හා සාමූහික මට්ටමෙන් සාකච්ඡා පවත්වන බවද ඒ මහතා සඳහන් කළේ ය.

විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුවේ නොසිතන පිරිසකගේ සහාය හිමිවන බවද සඳහන් කළ ඒ මහතා පළාත් පාලන ඡන්දය අවස්ථාවේ ඡන්දය වැටුණා සේ විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුවේ පාර්ශ්වයේ ඡන්ද හිමිවන බවද පැවසීය.

අස්ථාවර දේශපාලන තත්ත්වය ස්ථාවර තත්ත්වයට පත් කරන්න නම් මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන් ගෙන ආ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රන්මලී සෝමසිරි