මහසෝන් බළකාය නම් වූ ෆේස්බුක් සංවිධානයේ ප්‍රධානී අමිත් ජීවන් වීරසිංහ නමැත්තාට අයත් කුණ්ඩසා‍ලේ පිහිටි කාර්යාලයේ තිබි ජාතීන් අතර අසමගිය සහ වෛරය ඇතිකරන ආකාරයේ ලියකියවිලි දහස් ගණනක් සොයාගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ඊයේ (13) අනාවරණය කළේය.

ජනතාව අතර බෙදාහැරීමට නියමිතව තිබුණු එම ලියැවිලි අතර අත්පත්‍රිකා ‍පෝස්ටර්, බැනර් සහ දැන්වීම් පත්‍රිකාද ඇතැයි රුවන් ගුණසේකර මහතා කීය.

අමිත් ජීවන් වීරසිංහගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත කලහකාරී ක්‍රියා සඳහා සූදානම් කර තිබුණු පෙට්‍රල් බෝම්බ 07 ක් සොයාගත් බවද ඔහු සඳහන් කළේ ය.

අමිත් ජීවන් වීරසිංහ පරිහරණය කළ පරිගණක 04 ක්ද, ‍පොලිස් භාරයට ගෙන ඇතැයි කී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනු ලැබුවේ ඔහුගේ ජංගම දුරකථනවලට ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විශ්‍ලේෂණයක් සිදු කෙරෙන බවය.
‍පොලිස් මූලස්ථානයේ දී ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව හෙළි කළ රුවන් ගුණසේකර මහතා මෙසේ ද සඳහන් කළේ ය.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ඇති වු කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් පෙරේදා (13) වන විට පැමිණිලි 562 ක් ලැබි තිබෙනවා.

මහනුවර ‍පොලිස් කොට්ඨාසයට අදාළව නිවාස හා වෙළෙඳසල්වලට හානි කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 423 ක් හා දිවයිනේ අනෙක් ප්‍රදේශවලට අදාළව පැමිණිලි 22 ක් ලැබි ඇත.

පූජනීය ස්ථානවලට අලාභහානි කිරීම් සම්බන්ධයෙන් මහනුවර ‍පොලිස් කොට්ඨාසයට අදාළව පැමිණිලි 19 ක් හා අනෙකුත් ප්‍රදේශවලට අදාළව පැමිණිලි 5 ක් ලැබි තිබේ.

වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධීන්වලට අදාළව මහනුවර ‍පොලිස් කොට්ඨාසයෙන් පැමිණිලි 60 ක් සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අදාළව පැමිණිලි 5 ක් ලැබි තිබේ.

තුවාල සිදු කිරීමේ සිද්ධීන්වලට අදාළව මහනුවර ‍පොලිස් කොට්ඨාසයෙන් පැමිණිලි 22 ක් හා අනෙකුත් ප්‍රදේශවලට අදාළව පැමිණිලි 6 ක් ලැබි ඇත.

එසේම සමස්ත සාපරාධී ක්‍රියාවලට අදාළව මහනුවර ‍පොලිස් කොට්ඨාසය තුළ පමණක් සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවන් 59 ක් හා හදිසි අවස්ථා නියෝග යටතේ සැකකරුවන් 119 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එයින් සැකකරුවන් 50 ක් මේ වන විට ඇප මත සිටින අතර සෙසු සැකකරුවන් 128 ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අදාළව සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවන් 69 ක් හා හදිසි අවස්ථා නියෝග යටතේ සැකකරුවන් 33 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් සැකකරුවන් 45 ක් ඇපමත සිටින අතර අනෙක් සැකකරුවන් 57 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව සමස්ත සිදුවීමට අදාළව සැකකරුවන් 280 ක් ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අය අතර ජාතීන් අතර වෛරය අසමගිය ප්‍රචණ්ඩත්වය ඇති කරන අයුරින් ක්‍රියා කළ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරින්ය.

රන්මලී සෝමසිරි