අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පෙරවරුවේ හදිසියේම මල්වතු – අස්ගිරි නාහිමිවරුන් හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම හමුව සඳහා අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරින් පමණක් එක්ව ඇති අතර සාකච්ඡාව පැවති කුටිය වෙතට පිවිසීමට අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින්ටද අවස්ථාව හිමි වී නොමැති අතර මහ නාහිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා පමණක් එක්ව සිට තිබේ.

මෙහිදී මෙරට වර්තමාන තත්ත්වය සහ මහනුවර තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට සඳහන් වේ. ඉකුත් සතියේ දී අග්‍රාමාත්‍යවරයා මහනුවර සංචාරයට එක් වූ අවස්ථාවේ දී කථානායකවරයා පැමිණ සිටීම හේතුවෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමට අවස්ථාව හිමි නොවිණි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම හදිසි හමුව පවත්වා ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහ විහාරය වෙත ගොස් මල්වතු මහ නායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි බැහැ දැක සාකච්ඡාවෙහි නිරත වීමෙන් පසු අස්ගිරි මහ විහාරය වෙත ගොස් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිද බැහැ දුටුවේය.

නුවන් සේනාරත්න
කමල් සුරවීර – මහනුවර