මාත‍ලේ, විල්ගමුවේ මහවැලි ගඟ හරහා ඉදිකර ඇති සකුරා පාලම වැලි ජාවාරම්කරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් අවදානමට ලක්ව ඇති බව රිවිර පුවත්පතේ 11 වන පිටුවේ ඊයේ (13) පළකළ හෙළිදරව්වට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ අවධානයට යොමුවී ඇති බව එම කාර්යාංශය රිවිරට ඊයේ දැනුම් දුන්නේය.

රිවිර පුවතේ සඳහන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ), සාමාන්‍යාධිකාරී, අභ්‍යන්තර විගණක නිලධාරී ඇතුළු බලධාරීන් කණ්ඩායමක් මාත‍ලේ, විල්ගමුවට අද (14) යන බවද අනුර ජයමාන්න මහතා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත් යා කෙරෙන මාත‍ලේ, විල්ගමුවේ සකුරා පාලම අසල කාලයක් තිස්සේ දේශපාලඥයින්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයද ඇතිව කෙරෙන වැලි ජාවාරම නිසා එහි භූගත කොන්ක්‍රීට් බැම්මට පවා හානි සිදුවී ඇතැයි රිවිර පුවත්පත පළ කළ පුවත මගින් අනාවරණය කෙරිණි.