පසුගිය සෙනසුරාදා (10) උදෑසන ඔවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි ප්‍රියන්තා  ජයසේකර නමැති ගාල්ල කටඹුරාව පදිංචි තිදරු මවකි. එයින් දෙදෙනෙක් පාසල් යන වයසේ පසු වෙති.

ඇයට වෙඩි තැබූ හාම්පුතාගේ පුත්‍රයා 30 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු මානසික රෝගයකින් පෙළුණු අයකු බවට මූලික පරීක්ෂණවල දී සනාථ වූ බවත් සෞදි ‍පොලිසිය එරට මාධ්‍ය වෙත පවසා ඇත. චගේ මෘත දේහය සෞදියේ අල්-රාෂ් රෝහල් මෝචරියේ තබා තිබේ.

සිද්ධිය පිළිබඳ සැලවීමෙන් අනතුරුව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ඊයේ (13) පිටත්ව ගොස් තිබුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායම සිද්ධිය වූ සැකකරුගේ නිවස පරීක්ෂා කර බලා සියලු සාක්ෂි ලබාගෙන ඇති බවත්, ඒ ඔස්සේ ඉදිරි පර්යේෂණ සිදුකරන බවද පවසා ඇත.

මෙම කාන්තාව 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා සෞදි රාජ්‍යය වෙත පිටත්ව ගොස් ඇත. ඇය මෙවර ගොස් ඇත්තේ දෙවැනි වතාවටය.

ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර ඒ පිළිබඳ නීතිමය කටයුතු අවසන් වූ වහාම දේහය දිවයිනට හැකි ඉක්මනින් රැගෙන ඒමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ප්‍රියන්ත වීරසේකර මහතා රිවිරට පැවසීය.

කෙසේ වෙතත් මතෛක් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කර නොමැත. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ රියාද්හි වන අතර සිද්ධිය වූ නිවස පිහිටා ඇත්තේ ඊට කිලෝ මීටර් 500 ක් ඈතිනි. සැකකරුගේ ඥාතීන්ගෙන් ‍පොලිසිය ප්‍රකාශ සටහන් කරගත් බවත් ‍පොලිස් වාර්තාව කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවත් සෞදි ‍පොලිසිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවසා ඇත. මේ පිළිබඳ කරුණු වාර්තා කරන්නැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

මේ පිළිබඳ කරුණු දක්වමින් විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය. “ඇය ගාල්ල, වඳුරඹ, කටඹුරාව පදිංචිකාරියක්. ඇයට සිදු වූ මේ අවාසනාවන්ත ඉරණම ගැන හරිම කනගාටුයි. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ‍පොලිසිය සමග සම්බන්ධ වෙමින් විමර්ශන කෙරෙනවා. ඇයගේ මරණය පිළිබඳ නීතිමය කටයුතු කඩිනමින් අවසන් කර දේහය ලංකාවට ගෙන ඒමටත්, අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඇයගේ පවුලට වන්දි මුදලක් ලබා දීමට උපදෙස් දී තිබෙනවා යැයි හෙතෙම කීවේය.