මහනුවර පලහිලව්වෙන් විවිධ මාතෘකා එළියට ආවේය. ඒ අතරින් මේ වන විට ලොකු කතාබහට ලක්ව ඇත්තේ ආණ්ඩුවේ ෆේස්බුක් වාරණයයි. ගැටුම සංසිඳී තිබුණ ද ආණ්ඩුව ෆේස් බුක් වාරණය ඉවත් කිරීමට පියවර ගෙන නැත.

ආණ්ඩුව නම් කියන්නේ ෆේස් බුක් මූලස්ථානයෙන් වාර්තාවක් එනතෙක් තහනම ඉවත් කළ නොහැකි බවය. ලංකාවේ ෆේස්බුක් තහනම ගැන ඇමෙරිකාව නම් කියන්නේ ගැටුමට හේතුව මිනිසුන්ගේ අන්තගාමී සිතුවිලි විනා සමාජ ජාල මාධ්‍ය නොවන බවය. මේ කෙසේ වෙතත් ඉකුත් කාලය දෙස බලනකල නම් පෙනෙන්නේ මෙරට සමාජය මුහුණු ‍පොත වැඩකට වඩා අවැඩකට යොදාගත් බවය. බොහෝ පිරිසක් එමගින් නොයෙක් ජාවාරම්වල නිරත වූහ. සම්මත මාධ්‍ය තුළ පළකළ නොහැකි දෑ පළකිරීමට එය අමු අමුවේ යොදාගත්හ. තවත් අය ව්‍යාජ ගිණුම් හදමින් නොයෙක් ව්‍යාපෘතිවල නිරතවූහ. මුහුණු ‍පොත කෙටි කාලයක් තුළ මෙරට සමාජයට බලපෑමක් කර ඇති ද යන්න පැහැදිලි වන්නේ මුහුණු ‍පොතේ පලහිලව් නිසා මෙරට කිහිප දෙනෙක්ම සියදිවි හානිකර ගැනීමෙනි. එහෙයින් බොහෝ අයට මුහුණු ‍පොත වඳුරා අතට පත්වූ දැලි පිහිය වැනි විය. අනෙක් රටවල කෙසේ වෙතත් මෙරට මුහුණු ‍පොත නම් නියාමනයට ලක් නොවූ බව පෙනේ. එහෙයින් එහි නිදහස වල්බූරු නිදහසක් බවට  පත්විය. එසේ වුවද එමගින් බෙහෙවින් පහර වැදුණේ දේශපාලනඥයන්ටය.  එනිසා දෝ ආණ්ඩුව ෆේස් බුක් වාරණය පිළිබඳව වගේ වගක් නැතිව සිටියි. ෆේස් බුක් මගින් කළ හොඳ හොඳ සෙල්ලම් එළියට ආවේ වාරණ සමග සමහර ෆේස් බුක් ගිණුම් පිළිබඳ කළ ‍පොලිස් විමර්ශනවලිනි. එකී විමර්ශන අනුව අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් පාසල් සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. මින් එක් සිසුවකු රක්ෂිත  බන්ධනාගාර ගත කර ඇති අතර, අනෙක් තිදෙනා රැඳවුම් භාරයට පත්කර තිබේ. මේ සිසුන් සතරදෙනා මෙරට ජනප්‍රිය පාසල් නියෝජනය කරන්නෝය. එක් සිසුවෙක් එක්තරා ප්‍රදේශයක එක් ජනවර්ගයක කඩ සාප්පු ගිනිබත් කළ යුතු බවට ‍පෝස්ටුවක් ප්‍රචාරය කර තිබුණි. ඔහු සඳහන් කර තිබුණේ බුකියේ ප්‍රචාරය වූ ජාතිවාදී අදහස් නිසා තමන්ට එවැන්නකට උදේ‍යා්ගයක් ඇතිවූ බවය. එයින් පෙනෙන්නේ මුහුණු ‍පොත කෙතරම් බලපෑම් සහගත සාධකයක් වී තිබේ ද යන්නය. මහනුවර ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ මූලිකයා යැයි කියන තරුණයාගේ ෆේස් බුක් පිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂය පැන ඇති බව වාර්තා වේ. එසේම ඉකුත් දා ආණමඩුවේ කඩේකට පහර දුන්  බව කියන තරුණයන් ද එක්වී ඇත්තේ මුහුණු ‍පොත මගිනි.

මෙය එක් බලපෑමක් පමණි. මෙයට වඩා බලපෑම් රැසකට මුහුණු ‍පොත නිසා අපේ දුවා දරුවන් ලක්වේ. එහෙයින් මුහුණු ‍පොතේ ලැග සිටින තම දූදරුවන් පිළිබඳව මව්පියෝ නොපමාව අවධානය යොමුකළ යුත්තෝය. අද වයස අවු. 15න් පහළ දරුදැරියෝ පවා මුහුණු ‍පොතේ සැරිසරති.  ඔවුහු එමගින් කාලය  කා දමති. ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හෙළිකරන තොරතුරු අනුව කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් කිහිපයකම ශිෂ්‍යාවන් හතර පස් දෙනෙක්ම දූෂ්‍ය වී තිබුණේ මුහුණු ‍පොතින් හඳුනා ගත් පුද්ගලයන් මගිනි. එහෙයින් ඉතාම වගකීමෙන් ඒ දෙස බැලීමට කාලය එළැඹ තිබේ. කාලය පමණක් කා දමන්නේ නම් ප්‍රශ්නයක්  නැත. නොයෙක් විෂබිජ  ඔළුවට දමා ගනිමින් සමහර දරුදැරියෝ ජීවිතය ද විනාශ කර ගනිති. එනිසා ෆේස් බුක් වාරණය ඇතිවූ අවස්ථාවේ මෙකී කරුණු සියල්ලම සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය පියවරකි.   කොහොම නමුදු  ක්‍රමවේදයක් අනුව ව්‍යාජ ගිණුම් පාවිච්චි කරන්නන්ගේ හෝ තම ගිණුම වැරදි විදියට පාවිච්චි කරන්නන්ගේ ගිණුම් වහා අහෝසි කළ යුතුය. මුහුණු ‍පොත නිසා සාර්ථකව ව්‍යාපාර ආදිය කරන අයද සිටිති. එහෙයින් ඔවුන් ගැනද සලකා බලා  වාරණය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. එසේම සමාජ ජාල මාධ්‍ය භාවිතය පිළිබඳ සබුද්ධික කතිකාවක් සමාජයේ ඇති විය යුතුය. වගකීම් සහිතව එය භාවිත කිරීම පිළිබඳ සංවාදයක් ගොඩනැගීම එහිලා ප්‍රධාන පියවරකි.