ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයේ නිරත ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ ‍පොලිස් කොස්තාපල්වරයකු මෝටර් රථයක් සොරාගැනීමකට සැකපිට බණ්ඩාරවෙල ‍පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස සොරාගෙන ඇත්තේ ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථයකි. එම රථය පැදවීමේ ආශාවට එය රැගෙන ගිය බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත.

බණ්ඩාරවෙල ඔරලෝසු කණුව අසල පිහිටි ප්‍රසිද්ධ තොග භාණ්ඩ අලෙවිසලක හිමිකරුවකු පෙරේදා (12දා) රාත්‍රියේ සිය මෝටර් රථය වෙළෙඳසල අසල නවතා තිබූ අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු විසින් එය පැහැරගෙන ගොස් ඇතැයි බණ්ඩාරවෙල ‍පොලිසිය වෙත දැනුම් දී තිබේ.

මෝටර් රථයේ යතුර එහිම තබමින් එහි හිමිකරු වෙළෙඳසලට ගිය අවස්ථාවක රථය පැහැරගැනීමට ලක්ව ඇතැයි ‍පොලිසිය කියයි.

සුළු වේලාවකින් රථය පැහැරගත් බව කියන පුද්ගලයා විසින්ම එම රථය පදවමින් වෙළෙඳසල ඉදිරියට පැමිණ තිබේ. ‍පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකරු බිමතින් සිට ඇති බවත් ඔහු ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂකයකු ලෙස සේවය කරන ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ ‍පොලිස් කොස්තාපල්වරයකු බවත් ‍පොලිසිය විසින් හෙළිකරගෙන ඇත්තේ එවිටය.

බණ්ඩාරවෙල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

එස්. අස්ලම්