සමාජ ජාල වබේ අඩවි තහනමට විරෝධය පළ කරමින් විරෝධතා පුවරුවක් රැගෙන පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා ඊයේ (13) පැවැති දකුණු පළාත් සභා සැසිවාරට පැමිනීම හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ගාල්ල ක‍ලේගාන දකණු පළාත් සභා රැස්වීම් ශාලාවේදී සභාව පැවැත්වුණි.

ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා සභාවට පැමිණියේ විරෝධතා පුවරුවක්ද රැගෙනය. එහි සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් සඳහන් වී තිබුණි.

මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය තහනම් කිරීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

චන්න සාලිය මන්ත්‍රීවරයා විරෝධතා පුවරුවද රැගෙන සභා ගර්භයට ඇතුළුවීමත් සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා සභාපතිවරයා වෙත පෙන්වා දුන්නේ චන්න සාලිය මහතා කිසිවක් ගෙනැවිත් ඇති අතර සභාවට එක එක දේවල් රැගෙන ඒම සභාවේ ගෞරවයට බාධාවක් බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අශෝක ධනවංශ මහතා සෑම දිනම එක එක දේවල් සභාවයට ගෙන එන බවත් තවමත් සබාගැබට රැගෙන විත් නැත්තේ මළමිනියක් පමණක් බවද කියා සිටියේය.

අනතුරුව සභාපතිවරයා චන්න සාලිය මෙන්ඩිස් මහතාට උපදෙස් දුන්නෙ විරෝධතා පුවරු ඉවත් කරන ලෙසත් ප්‍රශ්නයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද කඩවීම් යටතේ අදහස් දක්වන ලෙසත්ය.

සමන් කළුආරච්චි / ලලිත් කංකානම්ගේ / සුනෙත් ගාල්ලගේ – ගාල්ල