පන්දු යැවීමේදී ඉන්දීය පිල ඉහළ දක්ෂතා පෙන්වමින් ශ්‍රී ලංකා පිල ලකුණු 152කට සීමා කිරීම ජයග්‍රහණයට උරදුන් බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසයි. තණතිල්ල පන්දු යවන්නන්ට එතරම් වාසිදායක නොවන තත්ත්වයක් වුවත් ඔවුන්ගේ කාර්යය නිසි පරිදි සිදුවූවා. පින්න නිසා වේග පන්දු යවන්නන්ට පමණක් ‍නෙවෙයි දඟ පන්දු යවන්නන්ටද පන්දු යැවීමට අසීරු වුණත් අපේ සැලසුම නිවැරදිව ක්‍රියාත්මක වූවා යැයි ෂර්මා පවසයි.

වේග පන්දු යැවූ ෂාදූල් තාකූර් හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 27ට කඩුලු 4ක් ගැනීමත් දඟ පන්දු යවන සුන්දර් වොෂින්ටන් මුල් ඕවර හය තුළ හොඳින් ක්‍රියාත්මක වීමත් ලොකු පිටිවහලක් වුණා. කොහොම වුණත් මේක කණ්ඩායමක් ලෙස ලබාගත් ජයග්‍රහණයක් බව ෂර්මා පවසයි.

අපේ පිතිකරුවන් ක්‍රියාත්මක වීමේදී ආරම්භක පිතිකරු යුගලය තමා (ෂර්මා) හා ධවාන් ඉක්මනින් දැවී ගියත් හොඳින් තරගයට අවතීර්ණ වුණා. විශේෂයෙන් මැද පෙළ පිතිකරුවන්ට මීට පෙර හොඳ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ කාර්ය අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුණා. දැන් අවශ්‍ය මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමටයි. කණ්ඩායම් තුනටම විවෘතව ඇති තරගාවලියේ ඉදිරියට යෑම ඉන්දීය පි‍ලේ අපේක්ෂාව බව රෝහිත් ෂර්මා පැවැසීය. මට හිතෙන්නේ ඉන්දීය පි‍ලේ නවකයන්ට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සතුටක්. කොහොම වුණත් තරගයෙන් තරගයට අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා යැයි රෝහිත් ෂර්මා පවසයි.

ධම්මික රත්නවීර