ඉන්දීය පිලට එරෙහිව ප්‍රථම තරගයේදී කඩුලු පහක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට සඳුදා (12දා) පැවැති දෙවැනි වටයේ ඉන්දීය පිල හමුවේ පැවැති තරගයේදී පිතිකරුවන්ගේ අසාර්ථකවීම තුළ ලැබූ පරාජයත් සමග නිදහස් කුසලාන අවසන් තරගයට පැමිණීමේ අවදානමක් නිර්මාණය වී තිබේ. ඒ අනුව සිකුරාදා (16) පැවැත්වෙන බංග්ලාදේශ පිලට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය වඩාත් වැදගත් වී ඇත.

වර්ෂාව නිසා ඕවර 19ක් බැගින් එක් පිලකට සීමා වූ මෙම තරගයේ ඉන්දීය පි‍ලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ට ලකුණු 152 කට සීමාවීම තුළ ඉන්දීය පිල ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ විය.
වේග පන්දු යවන ෂාදූර් තාකූර් තමාගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 27ට කඩුලු 4ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානය ලැබුවේ ප්‍රථම ශ්‍රී ලංකා තරගයේදී කුසල් ජනිත් වෙතින් ඔහු යැවූ එක් ඕවරයට ලබාදුන් ලකුනු 27ට කදිම පිළිතුරක් ලබාදෙමිනි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 17කට දැවීයාමෙන් පසුව ලකුණු අතර රැඳී සිටි කුසල් ජනිත් පෙරේරා දඟ පන්දු යැවූ වොෂින්ටන් සුන්දර් හමුවේ ස්වීප් පහරකට යාමේදී අතේ වැදුනු පන්දුව කෙලින්ම කඩුල්‍ලේ වැදීමෙන් ලකුණු 3කට දැවී යාමෙන් ඉන්දීය පිල තමන්ට අවශ්‍යම කඩුල්ල දවා ගැනීම ජයග්‍රහණයේ පළමු පියවර විය. කෙසේ වුවත් කුසල් මෙන්ඩිස් පන්දු 38ක් තුළ 4 පහර 3ක් හා හයේ පහර 3කින් සංග්‍රහ කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට අභියෝග කළද ඔහුට සහායට පිතිකරුවකු නොසිටීම තුළ ශ්‍රී ලංකා පිල අසරණ විය.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදි රෝහිත් ෂර්මා හා ශිකර් ධවාන් ආරම්භක පිතිකරු යුගලය පිළිවෙලින් ලකුණු 11ක් 8ක් ලබාගෙන සිටියදී එම කඩුලු දෙක පිට දඟ පන්දු යැවූ අකිල ධනංජය ලබා ගත්තද ඊට පසුව සුරේෂ් රයිනා හා ලෝකේෂ් රාහුල් ඉනිම ගොඩනැගුවේ ශ්‍රී ලංකා බලා‍පොරොත්තු බිඳ දමමිනි. කෙසේ වෙතත් පන්දු 9ක් ඉතිරිව තිබියදී මනීස් පාණ්ඩේ පන්දු 21ක් ලකුණු 42ක්ද දිනේෂ් කර්තික් පන්දු 25ක් ලකුණු 39ක්ද ලබා පස්වැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 68ක සබදතාවයක් පවත්වාලමින් ඉලක්කයට ළඟා වූහ. ජයග්‍රහනයෙන් පසුව පාණ්ඩේ පැවසුවේ තමා තරගයේ අවසානය තෙක් කඩුල්‍ලේ රැඳී සිටිමින් ලකුණු ලැබිමට අදහස් කරනු ලැබූ බවත් කර්තික් වෙතින් හොඳ සහයක් ලැබුණු බවත්ය.

නායක දිනේෂ් චන්දිමාල් මිට පෙර පැවැති බංග්ලාදේශ තරගයේදී පන්දු ඕවර සංඛ්‍යාව නියමිත වේලාවට නොයැවීම නිසා තරග දෙකක තහනමකට යටත් වූ හෙයින් තිසර පෙරේරා මෙම තරගයේ ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන්නේය. තිසර තරගයෙන් අනතුරුව පැවසුවේ පිතිකරුවන්ගේ බලා‍පොරොත්තු දක්ෂතා මතු නොවීම පරාජයට ලොකු හේතුවක් වූ බවයි. ආරම්භයේ හොඳින් සිදුවුවත් මැද පෙළ කඩා වැටීම ලොකු බලපෑමක් වුණා. කෙසේ වුවත් ඉදිරි තරගයේදී සිදු වූ වැරදි මකා ගනිමින් තරගය ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලැබිමට අපේක්ෂා කරන බව තිසර පැවැසීය’
අද 14 ඉන්දියා පිල දෙවන වරට බංග්ලාදේශ පිල සමග තරග වදී.

ධම්මික රත්නවීර