මගීන් හා කාර්ය මණ්ඩලයේ 71 දෙනෙකු ගමන් කරමින් සිටි යානය නේපාලයේ ත‍්‍රිභූවන් ගුවන් තොටුපලට ගොඩබෑමේදී 49 දෙනකුට මරු කැඳවමින් සිදුවූ මාරක අනතුරට හේතුව, අවසන් මොහොතේ ගුවන් පථය පිළිබඳ හුවමාරු වූ උපදෙස් ‘වැරදි ලෙස වටහාගැනීම’ බවට හෙළිවී තිබේ. අනතුරින් පුද්ගලයන් 22නෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවිය. යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ අතර එහි දත්ත විශ්ලේෂණයෙන් මේ බව හෙළිවී ඇතැයි එරට වාර්තා පවසයි.

යූඑස්-බංග්ලා ගුවන් සමාගමට අයත් බීඑස්-211 යානය පෙරේදා පස්වරු 2.18ට පමණ ගොඩබෑමට සූදානම් වී තිබේ. නිම්න ප‍්‍රදේශයක පිහිටා ඇති නියමුවන්ට ලොව ඇති භයානක ගුවන්තොටුපලවලින් එකක් ලෙස සැළකෙන ති‍්‍රභූවන් ගුවන් තොටුපල ආශ‍්‍රිතව එ් වනවිට තිබී ඇත්තේ වළාකුළින් බර එහෙත් පැහැදිලි කාලගුණයකි. යානය ගොඩබෑමට යාමේදී එහි පාලනය තිබී ඇත්තේ කාන්තා නියමුවරිය අතය. නමුත් අවසන් විනාඩි 4 තුළදී යානයේ ගුවන් හුවමාරු පාලක මැදිරිය සමඟ මාර්ගෝපදේශන ලබාගෙන ඇත්තේ පිරිමි නියමුවායි.

සාමාන්‍යයෙන් නියමුවන් ගුවන් තොටුපල පෙනෙන තෙක් මානයේ පිහිටි එක් කන්දක් ඔවුන්ගේ ගුවන් යානා ගොඩබෑමේදී එක් සලකුණක් ලෙස භාවිත කරන බව ගුවන් සමාගම පවසා ඇත. එ් එම කන්ද පහුවනවාත් සමගම යානය පහත් කිරීමට ඇරඹීමයි. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ කන්ද පසුවී තරමක් දුර ගොස් යානය එක්වරම පහතට බැස්වීමට කටයුතු කිරීමයි. ගුවන් පථය පැහැදිලි නොවීම නිසා නියමුවරිය යානය හසුරුවමින් සිටින අතර නියමුවා එකවර අවසන් මොහොතේ යානය හැසිරවීමට පටන්ගත් බවට අවසන් විනාඩි 4 හඬ දත්ත විශ්ලේෂණයේදී පෙනී ගොස් තිබේ.

පිරිමි නියමුවා: ”සර්, ගොඩබාන්නේ 02 ද 20 ද?” (එ් දකුණු සහ උතුරු ගුවන් පථ දෙකෙහි අන්තය සලකුණු කරනු ලබන අංක ය.)

පාලක මැදිරිය: ”මම ආයෙත් කියනවා ඔබට 20 පථයේ ඉදිරියට යන්න එපා”
නියමුවා: ”එ්ත් එතැනට ගොඩබාන්න බැහැනේ”  ඊට හේතුවී ඇත්තේ එම ගුවන් පථයේ මෙම යානයට පෙර තවත් ගුවන් යානයක් ගොඩබාමින් තිබීමයි. මැදිරියෙන් පැවසූ 02 ගුවන්පථය 20 ලෙස මාරු වී ඇසුණු නියමුවා කලබල වී ඇත. අනෙක් යානයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත් වීම නිසා ගුවන් යානා හුවමාරු මධ්‍යස්ථානයේ අණදෙන්නා ද කලබල වී තිබේ.

අණදෙන්නා: ‘ඔහු කලබල වෙලා වගෙයි. ඔහුට පාර මාරුවෙලා. ඔහු කොහේ හරි ගොඩබාවිනේ’
තවත් නියමුවෙක්: (අණදෙන්නාට කෝපයෙන්) ‘ඔබට තිබුණේ ඔහුව රේඩාර්වලින් එ් හානිකර පාරෙන් ඉවත් කරගන්න. වටපිටාවේ කඳුවළල්ල යානයේ දිශාවට හොඳ නෑ වගේ පේන්්නේ’

මැදිරිය: ”02 හෝ 20 ඔබට  ඕනෑ එකකට ගොඩබාගන්න”
නියමුවා: ”අපි 20ට ගොඩඩබාගන්නවා”
එ් උතුරු අවසන් ගුවන් පථයයි. එහිදී නියමුවා මැදිරියෙන් ලබාදුන් සුළං මාර්ගෝපදේශන ද වරදවා වටහාගත් බවක් පෙනී යන බව විමර්ශකයෝ අනුමාන කරති.

නියමුවා: ”සර් අපිට ගොඩබාන්න භූමිය නිදහස් ද?”
මැදිරිය: (නිශ්ශබ්දව සිට එක්වරම) ”මම ආයෙත් කියන්නේ හරවනවා වහාම.” යනුවෙන් ඝෝෂා කර ඇත.
කෙසේහෝ වේවා මෙහිදී සිදුවී ඇත්තේ පාලක මැදිරියෙන් 02 ගුවන් පථය නිදහස් කර දීමත් නියමුවා 20 පථයට ගොඩබෑමට යාමත් ය. සිද්ධිය ඇසින් දුටූවන් පවසා ඇත්තේ යානය පහළින් ඉදිරියට ගොස් ක්ෂණිකව හරවා යළි ගුවන් තොටුපල දෙසට පැමිණි බවයි. විමර්ශකයන් පෙන්වා දෙන්නේ එය නියමුවා එම අවස්ථාවේදී අනතුර අවම කිරීමට ගත් දක්ෂ උපායක් ලෙසයි.

කෙසේවෙතත් ගුවන් යානා සමාගම චෝදනා කරන්නේ මෙම අනතුර ගුවන් යානා හුවමාරු පාලක මැදිරියේ අමානුෂික හා වැරදි උපදේශනය හේතුවෙන් සිදුවූවක් බවයි. පාලක මැදිරිය සඳහන් කර ඇත්තේ නියමුවා කලබල වීම නිසා දුන් උපදෙස් වැරදි ලෙස වටහාගත් බවයි. විමර්ශකයන් පෙන්වාදෙන්නේ ගුවන් යානයේ සුන්බුන් අතරින් සොයාගත් ශබ්ද පටිගත යන්ත‍්‍ර දෙක මෙම අනතුර පිළිබඳ අතිශය වැදගත් සාක්ෂියක් වී ඇති බවයි. තවදුරටත් මේ පිළිබඳ විමර්ශන කි‍්‍රයාත්මක බව ද එරට වාර්තා පෙන්වා දී ඇත.

අනතුරට පත් යානයේ නියමුවා වන ආබිඞ් සුල්තාන් බංග්ලාදේශ ගුවන් හමුදාවේ හිටපු දක්ෂ ගුවන් නියමුවෙකි. ඔහුගේ ගුවන් කාලසීමාව තුළ කිසිදිනෙක අනතුරක් සිදුවී නැතැයි ද අනාවරණය වී තිබේ. සහය නියමුවරිය ලෙස කටයුතු කර ඇත්තේ පි‍්‍රතුලා රෂීඞ් ය. ඔවුන් දෙදෙනා ද අනතුරින් ජීවිතක්ෂයට පත්විය. කාර්ය මණ්ඩලයේ තවත් අයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සනාථ කර තිබේ.

සංස්කරණය – ප්‍රබෝධා හෙට්ටිආරච්චි