මාස තුනක් ඇතුළත නිවස තනා සුබ නැකතින් ගෙවැදිලා

කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්ගෙනුත් පරිත්‍යාගයක්

පාඩම් කරන්නට, අකුරක් ලියන්නට ඉඩක් නොමැති, පැල්පතක දිවි ගෙවන කිරිඇල්ල, කොඩිතුවක්කු කන්ද විදුහ‍ලේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන ඇම්.කේ. දිල්මි නිම්සරා සිසුවිය පිළිබඳව රිවිර පුවත්පත අනාවරණය කිරීමෙන් පසු බොරලැස්ගමුව හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරු ඇතුළු පිරිසක් ඇයට නිවසක් තනා දීමට කටයුතු කළහ.
මෙම සිසුවිය එම විදුහ‍ලේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇය විඳින දුක් ගැහැට පිළිබඳව දිනපතා රිවිර පුවත්පත ඉකුත් වසරේ (2017) ඔක්තෝබර් මස 31දා අනාවරණය කරන ලදී. රිවිර පත්‍රයේ පළ වූ පුවත කෙරෙහි පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුවන්නට විය.

බොරලැස්ගමුවේ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර මුදිත රත්නායක මහතා ඇතුළු හිතවතුන් රිවිර පුවත ඔස්සේ නිම්සරාගේ නිවසට පැමිණි අතර ඔවුන් ජීවත් වන ආකාරය සියැසින් දැක බලාගෙන නිවසක් ඉදි කිරීමට සූදානම් කර තිබුණ තැනටද ගියේය. එහිදී කඩිනමින් නිවස ඉදිකිරීමට තීරණය කළ අතර මාස තුනක් ගතවන්නට පෙර ඉදිකිරීම් අවසන් කිරීමටද කටයුතු කළහ.

ඒ අනුව කුප්පියාවත්තේ බෝධානන්ද හිමිපාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් නිම්සරාගේ පවු‍ලේ අයට සුබ නැකතින් නිවස භාරදීම සිදුවිය. මෙහිදී කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් අනුශාසනයක් කරමින් මෙසේ පැවසූහ.
‘විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වන අසරණ අය ගැන පුවත්පත් මගින් අනාවරණය කිරීම ඉතා වැදගත් මාධ්‍ය මෙහෙවරක්. රිවිර පත්‍රය නිසා නිම්සරා දැරියගේ පවු‍ලේ අයට අංග සම්පූර්ණ නිවසක් ලැබි තිබෙනවා. ඔවුන්ගේ ජීවිතයට එය ආලෝකයක්. මුදිත රත්නායක මහතා ඇතුළු ඊට දායක වූ සියලු දෙනාම උතුම් පින්කමක් සිදු කරගෙන තිබෙනවා’ යැයි උන්වහන්සේ පැවසූහ.

සුබ නැකතට ගෙවැදීම, කිරි ඉතිරවීම, බුද්ධ පූජාවන් පැවැත්වීම, සඟරුවනට දන් පිළිගැන්වීම මෙහිදී චාරිත්‍රානුකූලව සිදු වූ අතර ඉන්පසුව කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් නිවසට අවශ්‍ය භාණ්ඩ රැසක්ද පරිත්‍යාග කළහ. උන්වහන්සේ පරිත්‍යාග සංකේතවත් කරමින් විදුලි උපකරණයක් ප්‍රදානය කිරීමද, සෙත් පිරිත් සජ්ඣායනා මැද කිරි ඉතිරවීමද නිවස ඉදි කිරීමට දායක වූ මුදිත රත්නායක, ඕ.ඩී.එන්. ලක්මාලි, ඉනෝකා සමරවික්‍රම, බුද්ධික බණ්ඩාරනායක, බි.එස්. සුමිත් කුමාර, පියතිස්ස පාදුක්කගේ යන මහත්ම මහත්මීන් සමග නිම්සරාගේ පවු‍ලේ අය නව නිවස ඉදිරිපිටදී මෙහි දැක්වේ.

පී.ඩී. පියතිස්ස-කිරිඇල්ල