වසර හයක පමණ කාලයක් එක්ව වාසය කළද සිය විවාහය ලියාපදිංචි නොකළ යුවළකගේ විවාහය, උප්පැන්න මරණ හා විවාහ රෙජිස්ට්‍රාර් කටයුතු භාර ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැතිවරයා එක්ව සාක්ෂිකරුවන් වී ලියාපදිංචි කරවීමේ අපූරු පුවතක් පෙරේදා (11දා) කුරුණෑගලදී දක්නට ලැබුණි.

ඇමැතිවරුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් මෙසේ ලියාපදිංචි කෙරුණු කුරුණෑගල බරන්දන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ සරත් රාජපක්ෂ හා 25 හැවිරිදි රන්හොටිගේ මනීෂා මධුවන්ති ගුණවර්ධන නැමැති යුවළකගේ විවාහයකි.

කුරුණෑගල මල්ලවපිටිය කන්නගර විද්‍යාලයේදී පෙරේදා පැවතී ” නිල මෙහෙවර ජනපති ජංගම සේවාවේ”දී මෙම සුවිශේෂී විවාහ ලියාපදිංචිය සිදු කෙරුණු අතර එම අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියද පැමිණ සිටියාය.

දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින සමාජීය ගැටලූ වලට ක්ෂණික හා ස්ථිර සාර විසඳුම් ලබා දීමට මෙම ජනපති නිල මෙහෙවර පැවැත්වෙන අතර කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ 27 වන ජනපති ජංගම සේවාව මෙය විය.

එම අවස්ථාවට සහභාගිවී සිටි ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ එම නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහත්වරුන් ජංගම සේවා කුටි නිරීක්ෂණය කරමින් මෙම විවාහය සිදු කෙරෙන ස්ථානය අසලින් ගමන් ගන්නා බව දුටු විවාහ පාර්ශ්ව දෙකෙහි වැඩිහිටියන් විසින් අමාත්‍යවරුන් දෙපළ ගෙන් මෙම විවාහයේ සාක්ෂිකරුවන් වන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව එම ඉල්ලීම සතුටින් භාර ගත් අමාත්‍යවරුන් මෙසේ එහිදී එම විවාහයේ සාක්ෂි කරුවන් බවට පත්විය.

කුරුණෑගල – යුවනි පබසරා පැල්ලන්දෙණිය