ප්‍රහාරය කළේ වබේඅඩවි කල්ලියක්

ආණමඩුව-පුත්තලම පාරේ පිහිටි ආපනශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය ගිනි තබා විනාශ කිරීමෙ සම්බන්ධයෙන් සැකපිට මෑතකදී පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයින් හත්දෙනකු ආණමඩුව ‍පොලිසිය මගින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (11) අලුයම 2.00ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. අත්අඩංගුවට ගත් තරුණයින් හත්දෙනා අන්තවාදය පතුරවන සමාජ ජාලා වබේ අඩවියකට සම්බන්ධ පිරිසක් බවට ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සමාජ ජාලා වබේ අඩවි ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වූ විවිධ සිදුවීම් දැක මෙම පිරිස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ‍පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 17, 18, 19 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් පිරිසකි. එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපනශාලාව විනාශයට පත්ව තිබූ අතර ඒ ආසන්නයේ ඇති තවත් ව්‍යාපාරික ස්ථාන දෙකකට සුළු හානි සිදුවී තිබිණි. සිද්ධියෙන් පසුව වහාම ක්‍රියාත්මක වී ඇති ආණමඩුව ව්‍යාපාරික සංගමය ගිනිතබා විනාශ කරන ලද ආපනශාලාව කඩිනමින් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී. ආණමඩුව ‍පොලිසිය හා ගම්වාසීන් ද මේ සඳහා ශ්‍රමය මෙන්ම ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකර ඇත.

ඒ අනුව 11 වැනි දා අලුයම ගිනි තබන ලද ආපනශාලාව එදිනම රාත්‍රී 9.00 වන විට පැය 19කදී නැවත විවෘත කිරීමට හැකි වී ඇත. මහා සංඝරත්නය, ස්ලාමීය ආගමික නායකයින් සහ පක්ෂ විපක්ෂ දේශපාලන අධිකාරිය ද එම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

සමන් වඩුගේ/ඉෂාර ජයසිංහ – පුත්තලම