මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා ඇත්තේ මහා අමුතුම කලදසාවකි. එකක් ඉවර වෙද්දී තවත් එකකි. අවුරුදු ගණනක් ඇදි ඇදී තිබූ සයිටම් ගැටලූවට පිළියමක් ලැබෙද්දීම දැන් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලූව ආයෙත් මතුව තිබේ.

මෙය ආයෙත් මතු වූවා යැයි කිවේ මෙම ගැටලූවද අද ඊයෙක ආරම්භ වූවක් නොවන නිසයි. වැටුප් හා දිමනාවන්හි ඇති විෂමතා නිවැරදි කරන ලෙස වසර ගණනාවක සිට මෙම ගැටලූව වරින් වර පැනනැගුණි. ඒ දිගුවේ අලූත්ම කොටස පටන් ගත්තේ පසුගිය විසිඅට වැනිදාය. මේ වනවිට එයට සති දෙකකට ආසන්න කාලයක් ගතවන්නට පැමිණ තිබේ. නමුත් අනධ්‍යයන සේවකයන් වර්ජනය නවත්වන පාටක් පෙනෙන්නට නැත. ආණ්ඩුව ඊට විසඳුමක් දෙන බවක් පෙනෙන්නටද නැත. නමුත් වෙන විපාකය විඳින්නට සිදුවන්නේ සරසවි සිසු සිසුවියන්ටය.

පහුගිය දවස්වල රටේ තිබුණේ වෙන ප‍්‍රශ්නයකි. ඒ ප‍්‍රශ්නය නිසා දැන් වෙද්දී අනෙක් ප‍්‍රශ්න සියල්ල යටගිය බවක් ද පෙනෙන්නට තිබේ. එක ප‍්‍රශ්නයක් හේතුවෙන් රටේ තිබෙන අනෙක් ප‍්‍රශ්න යට යා යුතු නැත. එක ප‍්‍රශ්නයක් වෙනුවෙන් රටේ සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණය යෙදවිය යුතුද නැත. ඒ ඒ ආයතන බෙදා වෙන්කොට ඇත්තේ ඒ ඒ අංශයන්හි ගැටලූවට පිළියම් දීමට යැයි අපි විශ්වාස කරමු. මෙම ගැටලූවට උසස් අධ්‍යාපන අමාත්‍යංශය වහා පිළියමක් ලබා දිය යුතුව තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය පසුගිය දිනෙක පැවසුවේ අමාත්‍යාංශය පාර්ශ්වයෙන් කිසිදු සාධනීය ප‍්‍රතිචාරයක් තමන්ට නොලැබුණු බවයි.
මෙය සිදු නොවිය යුත්තකි. අලූතින් පත්වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටද මෙවැනි ගැටලූවලට හරි ආකාරයේ මැදිහත් වීමක් සිදුකිරීමට දැන් කාලය පැමිණ ඇත.

මීට පෙර සිටි ඇමැතිවරුන්ට තිබූ චෝදනා අලූත් ඇමැතිද ගාගන්නට අවශ්‍ය නැත. මෙවැනි ගැටලූවලට මැදිහත්ව පිළිගතහැකි යෝජනා ගෙන එන්නේ නම් ඔළුගෙඩි මාරු ගැන තර්ක බොරු කිරීමේ හැකියාවද අලූත් ඇමැතිවරයාට ඇත. අප වැනි රටක උසස් අධ්‍යාපනය පිළිබඳව දැක්විය යුත්තේ එසේ මෙසේ අවධානයක් නොවන බව දවසින් දවස මතුවන අර්බුදවලින්ම පෙනෙන්නට තිබේ. එය ශිෂ්‍ය පරම්පරාවක අනාගතයත්, ඔවුන්ගේ දැනුම මතින් බිහිවන රටක අනාගතයත් පිළිබඳ ගැටලූවකි.

වර්ජකයින්ගේ අයිතිවාසිකම් ගැන මෙන්ම ඔවුන්ගේ යුතුකම් ගැනත් මතක් කර දිය යුතුය. ඔවුන් මේ වර්ජනය ආරම්භ කරන්නේ සයිටම් ගැටලූව යන්තමින් අවසන් වෙමින් පවත්නා අවස්ථාවකය. මේ වනවිට විශ්වවිද්‍යාලවල වසර ගණනක් දේශනවලට සහභාගී වීමට නොහැකි වූ, විභාග ගණනාවක් නිසි වේලාවට පැවැත්වීමට නොහැකි වූ සිසුන් දහස් ගණනක් නැවත සුපුරුදු අධ්‍යාපන ක‍්‍රියාවලියට පැමිණෙන මොහොතයි. එවැනි අවස්ථාවක මේ ඇරඹුණු වර්ජනය ඔවුන් කබලෙන් ළිපට ඇද දැමීමකි. එය සැලසුම්සහගතව ක‍්‍රියාත්මක වූවාද නැද්ද යන්න අපි නොදනිමු. නමුත් එමගින් මතුවන ගැටලූව නම් සුළුපටු නොවේ.

මේ මතුවන ප‍්‍රශ්නවලින් පෙනෙන්නේ මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇද දැමූ තැන මිස අන් කවරක්ද? රටට ලෝකයට විද්වතුන් උගතුන් බිහිකළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අද තිබෙන තැන ගැන අපි දුක්විය යුතුය.
මේවාට කළයුතු පිළියම් වෙනුවට වෙනත් පැලැස්තර විසඳුම් යෙදීමේ ප‍්‍රතිඵල වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විඳිමින් සිටී. වර්ජන, පෙළපාළි පෝලිමක් පසුකරගෙන ආ ගමන කොතැනින් හෝ අවසන් විය යුතුය. හෙට දවස ගැන අවිනිශ්චිතභාවයක් නැතිව හිතේ නිදහසේ ඉගෙන ගන්නට දැන්වත් පරිසරයක් ඇතිවිය යුතුය. එය එක් පාර්ශ්වයකට පමණක් කළ හැක්කක් නොවන බව සියල්ලෝම සිහියේ තබා ගැනීම වටී. එය තම තමන්ගේ යුතුකම හා වගකීම මත රැඳුණු දෙයකි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY

Previous articleසිරස්
Next articleතිරස්