දිවයින අවට ඇති අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඉදිරි පැය 36 තුළ මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දිවයින ආසන්න වායුගෝලයේ පවතින තරංගාකාර කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති නිසා අද (13) දිවයිනේ බොහෝ මුහුදු ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බවත් එම අවස්ථාවල ක්ෂණිකව මුහුද රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසීය.

ඊයේ (12) විද්‍යා මාවතේ පිහිටි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන සෑම ප්‍රදේශයකම තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

පවතින කාලගුණ තත්ත්වයත් සමග යාපනය සිට කොළඹ දක්වාත්, කොළඹ සිට ගාල්ල හරහා ‍පොතුවිල් දක්වාත් ධීවරයින්ට අද (13) මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දුන් බව ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්ම ප්‍රිය තිසේරා මහතා සඳහන් කළේය.

මේ වන විට මුහුදු ගොස් සිටින ධීවර යාත්‍රාවල ධීවරයින් ද නවීන තාක්ෂණ ක්‍රම ඔස්සේ මේ පිළිබඳ දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව සියලු තොරතුරු ධීවර දෙපාර්තමේන්තුව හරහා ධීවර ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගත් බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට ද උපදෙස් ලබා දී ඇති බවත් ආපදාවක් සිදු වුවහොත් දිස්ත්‍රික් මෙහෙයුම් මධ්‍යස්ථාන ඒ සඳහා සීරුවෙන් තබා ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර පවතින කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ වයඹ දෙසට බරව අරාබි මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

දීපා වසන්ති එදිරිසිංහ