හදිසි නීතිය ඉක්මනින් ඉවත් කිරීමට හැකිවනු ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මහනුවර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වූ වහාම තරාතිරම නොබලා සිද්ධියට වගකිව යුත්තන් ජනතාව හමුවේ හෙළිකරන බවද ඇමැතිවරයා සඳහන් කළේ ය.

හෙතෙම මේ බව හෙළි කළේ ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ‍පොලිසියේ උසස් නිලධාරින් සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඊයේ (12) පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මෙම සිද්ධියේ ‍පොලිස් පරීක්ෂණ වේගවත් කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදන ලෙසත් ඇමැතිවරයා මෙහිදී ‍පොලිස්පතිවරයාට සහ උසස් ‍පොලිස් නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවි සෙනවිරත්න, ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවි විද්‍යාලංකාර යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ පැතුම් වික්‍රමරත්න