එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉස්තාන්බුල් බලා පියාසර කරමින් තිබූ තුර්කියේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් පෞද්ගලික ගුවන් යානයක් නිරිතදිග ඉරානයේදී අනතුරට ලක්වීමෙන් ඔහුගේ දියණිය මිතුරියන් ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ෂාර්-ඊ-කෝඞ් ප‍්‍රදේශයේදී අනතුර සිදුවී ඇත්තේ ගුවන් යානය පුපුරා කඩාවැටීමෙන් බව පැවසේ. මෙම ප‍්‍රදේශය කඳුකර ප‍්‍රදේශයකි. රේඩාර් සංඥවෙන් ඉවත් වී පසුව යානය අනතුරට ලක්ව තිබේ. කිසිවකුට දිවි ගලවා ගැනීමට හැකිවී නොමැත. සිරුරු හමුවන විට මුළුමනින්ම පිළිස්සී ඇති බැවින් ඞීඑන්එ් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට කටයුතු කරමින් පවතී.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුර්කියේ ධනවත් ව්‍යාපාරිකයකු වන හුසේන් බසාරාන්ගේ දියණිය සහ ඇයගේ මිතුරියන් 7දෙනෙක් සහ කාර්ය මණ්ඩලයයි. අපේ‍්‍රල් 14 වැනිදා විවාහ වීමට සූදානම්ව සිටි මීනා බසාරන් 28 වැනි වියෙහි පසුවන අතර ඇය පසුගිය ඔක්තෝබර් මාසයේදී විවාහ ගිවිස ගත්තා ය. සම්ප‍්‍රදායක් වශයෙන් මිතුරු මිතුරියන්ට සමුදීමේ උත්සවයට සමගාමීව පැවැති චාරිකාවෙහි නිරතව සිටියදී මෙලෙස ඇය හා ඇයගේ දෙවැනි මනාලියන් 7 දෙනා මෙලෙස අනතුරට ලක්ව තිබේ. පසුගිය දින කිහිපයක් පුරා ඇය හා මිතුරියන් තම පියාට අයත් මෙම ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චාරිකාවේ නිරත වී ඇත. හුසේන් බසාරන් යනු ඉස්තාන්බුල් නගරය මූලික කරගනිමින් ඉදිකිරීම්, සංචාරක, ආයෝජන හා හෝටල් ව්‍යාපාරයේ නිරත ධනවතෙකි.