වව්නියාව මහ රෝහලෙන් පැහැරගත් දින දෙකක් වයසැති බිලිඳා අනුරාධපුර රෝහ‍ලේදී සොයාගත් ‍පොලිසිය එම පැහැරගැනීමට සැකපිට කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කාන්තාවක් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන ඇත.

වව්නියාව, බෝගස්වැව, පස්වැනි පටුමගේ පදිංචි 37 හැවිරිදි එම්.එම්. කල්‍යාණි මානගේ නමැති කාන්තාව වව්නියාව දිස්ත්‍රික් මහ රොහ‍ලේ දී ඉකුත් 07 දා පිරිමි දරුවකු ප්‍රසූත කර ඇත.
බිලිඳා පැහැරගෙන යාම සම්බන්ධව බිලිඳාගේ පියා මෙසේ කියා සිටියේය.
“මගේ බිරිඳත් එක්ක ගෑනු කෙනෙක් කතා කර කර ඉඳලා තියෙනවා. බිරිඳ ඒ ගෑනු කෙනාව කවදාවත් දැකලා නෑ. බංකුවේ ඉඳගෙන හිටපු ගෑනු කෙනා අපේ එක්කෙනාගේ ඇඳ ළඟට ගිහින් ඇඳේ වාඩිවෙලා කතා කර කර ඉඳලා. “බබා ලස්සනයි. සුදු පාටයි. මහත්තයා ලස්සනද?” කියලා ඒ ගෑනු කෙනා බිරිඳගෙන් අහලා. බබා චුට්ටක් වඩාගන්නද කියලත් අහලා. අපේ එක්කෙනා සද්ද නැතිව ඉඳලා. ඒ ගෑනු කෙනා දරුවා ආපහු ඇඳෙන් තියලා ආපහු බංකුවේ වාඩි වෙලා. මගේ බිරිඳ මේ ගෑනු කෙනාට දරවා ‍පොඩ්ඩක් බලාගන්න කියලා වැසිකිළියට ගිහින්. ආපහු එද්දී අර ගෑනු කෙනාත් දරුවාත් අතුරුදන් වෙලා.” යැයි පැවසුවේය.

බිලිඳාගේ මව වන එම්.එම්. කල්‍යාණි මානගේ මෙසේ කියා සිටියාය.
“දරුවා ඔතලා තිබුණු පැනල් කෑල්ලත් එක්කමයි දරුවා අරන් ගිහින් තිබුණේ. මම අඬාගෙන සිකුරිටි මහත්තුරු ඉන්න තැනට ගියා.” ඇය පැවසුවාය.
එක් කාන්තාවක් දරුවා වඩාගෙන සිටිනු තමන් දුටුවේ යැයි යන පිළිතුර පමණක් වාට්ටුවේ සිටි වෙනත් කාන්තාවක් ඇයට පවසා තිබේ.

දරුවා ලැබුණු කාන්තාව වහාම දරුවා අතුරුදන් වූ බව වව්නියා රෝහ‍ලේ ‍පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව එම නිලධාරීන් ඒ බව වව්නියාව මූලස්ථාන ‍පොලිසිය වෙත දැනුම්දීමෙන් පසුව අතුරුදන් වූ දරුවා සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් වව්නියාව ‍පොලිසිය විසින් මෙහෙයවන ලදී.
මේ අතරතුර අනුරාධපුර ශික්ෂණ රෝහලට 09 දා ඇතුළු වූ කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප්‍රදේශයේ කාන්තාවක් තමන්ට දරුවකු ලැබුණු බවත්, එම දරුවාගේ සම කහ පැහැගැන්වෙන බවත් රෝහ‍ලේ වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ. ඇය දරුවකු ලැබිමට සිටින බවට ව්‍යාජ සායන කාඩ්පතක් ද සකසාගෙන සිටි අතර වෛද්‍යවරු ඇයව පරීක්ෂා කළ අවස්ථාවේ දී ඇයට දරුවකු ලැබි නොමැති බව සනාථ වී තිබේ.

වෛද්‍යවරු දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ දරුවකු දරුකමට හදාගැනීමට වව්නියාව රෝහ‍ලේ දී කාන්තාවකගෙන් ලබාගත් බවයි.
මේ පිළිබඳ අනුරාධපුර රෝහ‍ලේ වෛද්‍යවරු රෝහල් ‍පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔවුන් වව්නියාවේදී දරුවකු අතුරුදන්ව සිටින බව දැන තිබූ බැවින් ඒ පිළිබඳ වව්නියාව ‍පොලිසියට දැනුම් දී ඇත. වව්නියාව සිට අනුරාධපුර රෝහල දක්වා ගිය ‍පොලිස් නිලධාරීන් පිරිසක් දරුවා හඳුනාගැනීමෙන් පසුව දරුවා පැහැරගෙන ගිය කාන්තාව ද අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව ලැබෙනතුරු එම දරුවා අනුරාධපුර රෝහ‍ලේ නොමේරූ ළදරු ඒකකයේ තැබිමට ‍පොලිසිය තීරණය කොට ඇත්තේ අධිකරණ නියෝග මතය.
සැකකාර කාන්තාව වව්නියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව ‍පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබයි.

වික්‍රම සෙනෙවිරත්න – වව්නියාව
රිසික මිනුල් – වව්නියාව