දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය හෙට (13) සහ අනිද්දා (14) දිනයෙන් පසු අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් අද (12) දින නැගෙනහිර, ඌව හා දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට අධික වැසි ලැබෙනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා රිවිර’ට ප්‍රකාශ කළේය.

උතුරු හා ගාල්ල මුහුදු ප්‍රදේශවල විටින් විට තද වැසි හා සුළගේ වේගය වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයිද කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. එසේ වුවත් මේ මස මැද භාගයේ සිට අන්තර් මෝසම් වැසිද අපේක්ෂා කරන බැවින් ඉන් පසුව යළිත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇද හැලිය හැකි බවද කාලගුණ විද්‍යාඥවරයා පැවැසීය.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන්නැයි අනතුරු අඟවා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි