මහනුවර ප්‍රදේශයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සයිබර් අපරාධ ඒකකය සඳහන් කරයි.

එම ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය දිනවල රට තුළ නිර්මාණය වූ කලහකාරී තත්ත්වයන්ට ජුව සම්බන්ධ රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
‍පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම ඒකකය පවසයි. සමාජ ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ ෆේස්බුක් භාවිත කිරීමේ ක්‍රමවේද පිළිබඳව ෆේස්බුක් සමාගම සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද විදුලි සංදේශ නියාමන කොමිසම අපේක්ෂා කරන බව ද සයිබර් අපරාධ ඒකකය පවසයි.

මේ සම්බන්ධයෙන් ‘රිවිර’ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ෆේස්බුක් ගිණුම් හරහා සිදු කෙරෙන නීති විරෝධී ක්‍රියා පාලනයේ දී විදුලි සංදේශ නියාමන කොමිසමට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහායක් ලබාදීමට තම ආයතනය සූදානම් බවයි. එසේම මෙසේ පැමිණිලි ලැබෙන ගිණුම් පිළිබඳව මේ වන විට පවතින්නේ මූලික මට්ටමේ ‍පොලිස් පරික්ෂණ බව ද චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

වයිබර්, ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍යවලට පිවිසීම සඳහා දැනට පවතින වාරණයන් තවදුරටත් ක්‍රියාත්මක බව ද විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කර සිටියේය.
මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය පියවර ගත් අතර මේ වන විට දින 6ක් පුරාවට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවලට පිවිසීමට නොහැකි වී තිබේ.

නයන තරංග ගමගේ/භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්