මහනුවර සිදුවීම මුල්කර ගනිමින් ජාතිවාදී සහ ආගම්වාදී වෛරී ප්‍රකාශ සමාජ ජාල වබේ අඩවි ඔස්සේ සමාජගත කිරීමට සැකපිට ප්‍රධාන පෙළේ පාසල් 3ක සිසුන් 04 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නගරයේ පිහිටි ජාතික පාසල් දෙකක සහ මහරගම පිහිටි ජාතික පාසලක සිසුන් සිව් දෙනෙක් එසේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘රිවිර’ට ඊයේ (11) සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් තිදෙනෙක් වයස අවුරුදු 16ට අඩු බැවින් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට ලබන 22 දා දක්වා මාකොළ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමටත් සෙසු සිසුවා රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් අධිකරණය නියෝග කළ බව ද එම නිලධාරියා පැවසීය.

ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට එම සිසුන් කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. ‘සිංහ‍ලේ අපි’ නම් වූ ෆේස්බුක් පිටුවක් මගින් සහ 256 දෙනකුගේ වට්ස් ඇප් කණ්ඩායමක් මගින් එම ජාතිවාදී සහ ආගම්වාදී වෛරී ප්‍රකාශ සිසුන් විසින් නිකුත් කර තිබෙන බව ද එම නිලධාරියා පැවසීය. එම සිසුන් කොළඹ හෝමාගම සහ මිනුවන්ගොඩ පදිංචිකරුවන්ය.

ගයාන් කුමාර වීරසිංහ