ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැදිහත්වීමෙන් මෙරට ස්ථාපිත කළ පළමු කෘතිම පාපන්දු ක්‍රීඩාපිටිය විවෘත කිරීම පසුගිය සෙනසුරාදා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බැද්දගානේදී සිදු කෙරුණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූල්‍ය ආධාර  ඇතිව මෙම කෘතිම පාපන්දු පිටිය නිර්මාණය කිරීම සිදුවූ අතර එය ජාතික පි‍ලේ විදේශීය තරග සඳහා පුහුණු කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇත.

මෙම අවස්ථාවට  ක්‍රීඩා ඇමැතිවරයාට අමතරව ක්‍රීඩා  ක්‍රීඩා අමා්‍යාංශයේ විශේෂ උපදේශක මිල්ටන් අමරසිංහ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ‍ලේකම් එම්. ජස්වර් උමාර් ඇතුළු සම්මේලන නිලධාරීන් ද සහභාගි වූ අතර එදින ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා පාපන්දු සම්මේලන නිලධාරීන් අතර ප්‍රදර්ශන පාපන්දු තරගයක් ද පැවැත්විණි.

එම තරගයේදී ක්‍රීඩා අමාත්‍යාංශ පිල  ඇමැතිවරයාගේ නායකත්වය යටතේ ද පාපන්දු සම්මේලන පිල සභාපති අනුර ද සිල්වා මහතා යටතේ ද තරග බිමට පිවිස තිබිණි.

තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  අමාත්‍යාංශයේ විශේෂ උපදේශක මිල්ටන් අමරසිංහ මහතා පෙනී සිටි අතර සම්මේලනයේ ‍ලේකම් එම්. ජස්වර් උමාර් මහතා ප්‍රධාන විනිසුරු ලෙස  කටයුතු කරනු ලැබිය.
මේ තරගයේදී ක්‍රීඩා අමාත්‍යාංශ පිල ගෝල 6-1 ක් ජයක් වාර්තා කරන්නට සමත් විය.

මෙම කෘතිම පාපන්දු පිටිය හා පුහුණු මධ්‍යස්ථානය ක්‍රීඩකයින් 40 දෙනකුට හා නිලධාරීන් 15 දෙනකුට නේවාසිකව පුහුණු කටයුතුවලට සහභාගි වීමේ පහසුකම් සහිතය.

තවද එහි ආපන ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක් හා  කායවර්ධනාගාරයකින්ද සමන් විතය.

සීවලී එදිරිවීර