ඉන්දියාව හමුවේ ප්‍රථම  තරගයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නිදහස් කුසලානයේ තෙවැනි තරගයේදී අනපේක්ෂිත ලෙස බංග්ලාදේශය හමුවේ සෙනසුරාදා (10) කඩුලු පහක පරාජයක් ලැබිම නිසා මේ වන විට කණ්ඩායම් තුනටම නිදහස් කුසලානය විවෘතව පවතී. ප්‍රථම වටය අවසානයේ කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයගෙන තිබිම නිසා අද (12) ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙපිලටම තරගය වැදගත් වන්නේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබිමට ජයග්‍රහණය වැදගත් හෙයිනි.

ශ්‍රී ලංකා පිල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඕවර විස්ස-20 තරගයක වැඩිම ලකුණු  ඉනිම ලෙස කඩුලු 6ට ලකුණු 214ක්  ලැබුවද එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශය අත්දැකීම් පිරි ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම්ගේ පන්දු 35න් ලැබූ නොදැවී ලකුණු 72 හේතුවෙන් පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලැබිම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය මැකී ගියේය. ධනුෂ්ක ගුණතිලක පන්දු 19 න් ලකුණු 26ක් ද කුසල් මෙන්ඩිස්  පන්දු 30න් ලකුණු 57ක්ද ලබා ඕවර 4.3ක් තුළ ලකුණු 56ක වේගවත් සබඳතාවක් පවත්වමින් ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමට, ප්‍රථම ඉන්දීය තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා  සුපුරුදු දක්ෂතා නැවතත් පෙන්වූයේ පන්දු 48න් ලකුණු 74ක් ලැබුවේ 4 පහර 8ක් හා 6 පහර 2ක් සමගිනි. මෙන්ඩිස් හා කුසල් ජනිත්  2වැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් තැබිම කැපීපෙනුණි. උපුල් තරංග  පන්දු 15න් ්නොදැවී ලකුණු 32ක් එක් කිරීම නිසා ශ්‍රී ලංකාව කඩුලු 6ට ලකුණු 214ක් ලැබිම තුළ ඕවරයකට 10.7ක සාමාන්‍යයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සමත් විය.

බංග්ලාදේශය පිතිකරණයේදී වඩාත් ආක්‍රමණශීලී රටාවක් පෙන්නුම් කරමින් තමීම් ඉක්බාල් පන්දු 29න් ලකුණු 47ක්ද පිතිකරණයේ උසස්වීමක් ලැබූ ලිටන්ඩාස් පන්දු 19න් ලකුණු 43ක් ද ලැබිමෙන් මුල් ඕවර 6 තුළ ලකුණු 74ක් රැස්කොට ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් ගෙන දුන්නේ දුෂ්මන්ත චමීර සමග මුලින් පන්දු යැවීමට කැඳවූ පිට දඟ පන්දු යැවූ අකිල ධනංජය දැඩි ප්‍රහායට මැදිවූ හෙයිනි.  ඩාස්ගේ ප්‍රවේගකාරී පිතිකරණයට 4 පහර 2ක් හා 6 පහර 5ක් ඇතුළත්වීම කැපී පෙනේ. සෞම්‍ය ශාකර් පන්දු 22න් ලකුණු 24ක් ලබා දැවී යාමෙන් පසුව මුෂ්ෆිකාර් රහීම් සමග නායක මහමුදුල්ලා ඉනිම ගොඩනැගුවේ අවශ්‍ය ලකුණු වේගය ආසන්නයට පැමිණෙමිනි.

ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ රහීම් පන්දුව හොඳින් ස්ථානගත කරමින් උපාශීලීව යෙදුණු ප්‍රහාරය තුළ පන්දු 2ක් ඉතිරිව තිබියදී ලකුණු 215ක් කඩුලු 5ක් අතැතිව ලැබිමෙන් ජයග්‍රහණය වාර්තා කළේ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් අන්දමන්ද කරමිනි. මුෂ්ෆිකාර් රහීම් තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණි.

චමීර ඕවර 4 තුළ ලකුණු 44ට කඩුලු 1 ක් ද අකිල ධනංජය ඕවර 3ට ලකුණු 36 ක් ද ජීවන් මෙන්ඩිස් ඕවර 2ට ලකුණු 25ක් ද දී ප්‍රහාරයකට ලක්වීම  ජයග්‍රහණය ප්‍රතිවාදීන්ට ලැබිමට හේතුවිය.  කෙසේ වුවත් පිතිකරුවන්ට උචිත තණතිල්‍ලේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මෙන්ම පන්දු රැකීමේදී බලා‍පොරොත්තු දක්ෂතා ඉස්මතු නොවීය. අද (12) ශ්‍රී ලංකා ඉන්දීය තරගය වඩාත් තීරණාත්මක වේ.

ධම්මික රත්නවීර