වරින් වර මතුවෙමින් තිබූ වර්ගවාදයේ අළු යට ගිනි පුපුරු පසුගිය සතියේ මහා ගින්නක් වී රට දවාලූයේය. ඒ ගින්නට පිදුරු දැමුණේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් බව බොහෝ නිරීක්ෂකයන්ගේ මතය විය. ඒ නිසාම ඉතිහාසයේ පළමු වතාවට සමාජ මාධ්‍ය ජාලා රැසකට පිවිසීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට අවහිර කිරීමට රජය පියවර ගත්තේය.

නවතම සංඛ්‍යා‍ලේඛනවලට අනුව 2017 දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කර තිබුණු ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 55කි. මේවා අතරින් සමහරක් ව්‍යාජ ගිණුම්ය. ආසියාවේ බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වැඩිම පිරිසකගේ ආකර්ෂණය දිනාගත් සමාජ මාධ්‍යය වන්නේ ෆේස්බුක් වබේ අඩවියයි.

පසුගිය දා ඇති වූ නුවර ගැටුම් පාලනය කිරීමේ හදිසි පියවරක් වශයෙන් ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම අපට අලුත් අත්දැකීමක් වුව ද ලෝකයේ ඇතැම් රටවලට එය එසේ නොවේ. පාකිස්තානය, චීනය, උතුරු කොරියාව, කියුබාව, ඉරානය, බංග්ලාදේශය, වියට්නාමය, මොරිටියුස්, ඊජිප්තුව සහ සිරියාව යන රටවල් සමාජ මාධ්‍යයන් සඳහා විවිධාකාරයේ වාරණයන් පනවා ඇත. නමුත් ලෝකයේ දියුණු රටවල් සිදු කරන්නේ ඊට හාත්පසින් වෙනස් ක්‍රියාදාමයකි. සමාජ මාධ්‍යවල සිදුවන කටයුතු අඛණ්ඩවත්, සූක්ෂ්ම ලෙසත් නිරීක්ෂණය කිරීමට දියුණු රටවල සංවිධානාත්මක වැඩපිළිවෙළ තිබේ. සමාජ විරෝධී සහ ආචාරධර්මවලට පටහැනි පළකිරීම් සිදු වූ වහාම ඒවා හඳුනා ගැනීමටත්, ඒ සඳහා දායක වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ රටවල් කාර්යක්ෂමව ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවන් වර්ගවාදී කටයුතුවලට මෙන්ම විවිධාකාර සමාජ විරෝධී ප්‍රචාරයන් සඳහා ද කලක් තිස්සේ භාවිත කෙරෙන බව නොරහසකි.

සමාජ මාධ්‍ය අවකාශය භාවිත කිරීමේදී සිදුවිය හැකි අකටයුතුකම් අවම කර ගනිමින් ඉන් ලබාගත හැකි යහපත් පල ප්‍රයෝජන නොඅඩුව ලබාගන්නට නම් සමාජ මාධ්‍ය නියාමනය හා නිරීක්ෂණය අත්‍යවශ්‍ය කාරණයක් බව පැහැදිලිය. මේ සඳහා පෙරමුණ ගත යුත්තේ රජයයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන ගැටලු ගැන පැමිණිලි කිරීමට දැනටමත් යම් යම් රාජ්‍ය ආයතන අතළොස්සක් තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නේ තමන්ට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පමණක් වීම දුර්වලතාවකි. නිසි ආකාරයෙන් සැලසුම් කරන ලද අඛණ්ඩ නිරීක්ෂණ ව්‍යාපෘතියක් තුළින් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙමින් මහජන සාමයට බාධා කරන්නන් හඳුනාගැනීම කිසිසේත් අපහසු කටයුත්තක් නොවේ. නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව ජන සමාජය දැන ගැනීමෙන් එබඳු ක්‍රියා බොහෝ දුරට පාලනය වනු ඇත.

බහුතරයක් ශ්‍රී ලාංකික සමාජ ජාලා පරිශීලකයන්ගේ හැසිරීම ඉතා අදුරදර්ශී සහ අවදානම් සහගත එකක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ආරක්ෂාව හා පරිගණක අපරාධ පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කසුන් ද සොයිසා මහතාගේ අදහසයි.

“මිනිසුන් පිළිබඳ තොරතුරු, ඕපාදූප ආදිය ඉස්සර කතාබහ කෙරුණේ මිනිස්සු වැඩිපුර ගැවසුණු තැන්වලදීයි. ඒ කියන්නේ කඩමණ්ඩිවල, නාන ළිං ළඟ වගේ තැන්වල. අද ඒ සමාජ අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ සමාජ මාධ්‍ය වබේ අඩවිය. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ මිනිසුන්ගේ සහජ ආශාවන් පිළිබඳ හොඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයකුත් එක්කයි. ඒ නිසාම සමාජ මාධ්‍ය පරිශීලනයට පෙලඹෙන අපි ඉතාම කෙටි කාලයකින් ඊට ඇබ්බැහි වෙනවා. විවිධ වෙළෙඳ දැන්වීම් පළකිරීමෙන් ලාභ උපයනවා වගේම සමාජ මාධ්‍ය භාවිත කරන අයගේ පුද්ගලික තොරතුරු විවිධ සමාගම්වලට විකිණීමෙනුත් සමාජ මාධ්‍ය ජාලා මුදල් උපයන බවට චෝදනාවක් ඔවුන්ට තියෙනවා.”

සමාජ මාධ්‍ය භාවිතය ඉතා පරිස්සමෙන් සිදු නොකළොත් එහි අවසානය ඉතා බරපතළ ඛිෙදවාචකයක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලය අද අපි අත්දකිනවා. හැබැහින් පුද්ගලයන් දෙදෙනෙක් හමුවෙලා කතාබහ කරද්දී අපට සමාජ සම්මත සීමාවන් තියෙනවා. නමුත් සමාජ මාධ්‍යයක අදහස් දක්වද්දී එබඳු සමාජ බාධක නැහැ. නොයෙක් විනාශකාරී පළකිරීම්වලට සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක් වෙන්නේ ඒ නිසයි.

නමුත් හුඟාක් අය නොදන්නා දෙයක් තමයි මේ වගේ දේවල් කරලා හැංගෙන්න බැරි බව. හරියාකාර නිරීක්ෂණයක් තුළින් මේ අයව නීතියේ රැහැනට හසුකර ගන්න පුළුවන්. ජාතිවාදී හෝ අසභ්‍ය හෝ ඕනෑම ආකාරයක නුසුදුසු යමක් ඔබ සමාජ මාධ්‍යයක පළ කරලා එය මකා දැමුවත්, ඔබ එවැන්නක් පළ කළ බව හොයාගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් සමාජ මාධ්‍යවල ඩිලීට් බටන් එක කියන්නේ බොරුවක්. කෘත්‍රිම බුද්ධිය මගින් ක්‍රියාත්මක වන තොරතුරු රැස් කිරීමට පුහුණු කළ පරිගණක වැඩසටහන් මගින් සමාජ මාධ්‍යවල පළවෙන දත්ත එසැණින් රැස් කිරීම හා යළි පළකිරීම නිරන්තරයෙන් සිදු වෙනවා. අද ඔබ වැරදි යමක් පළ කරලා එසැණින් මකා දැමුවත් තව අවුරුදු පහකින් දහයකින් වුවත් ඔබව සාක්ෂි සහිතව අල්ලා ගැනීම එතරම් අපහසු නැහැ.”

ආරක්ෂාකාරීව සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ ආචාර්ය කසුන් ද සොයිසා මහතා ලබාදෙන උපදෙස් මෙසේය.
“සරලව කිව්වොත් සමාජ මාධ්‍යයේ පළ කළ යුත්තේ ඔබේ නිවස ඉදිරිපස තාප්පයේ ප්‍රසිද්ධියේ අලවන්න පුළුවන් විදියේ පින්තූරයක් හෝ අදහසක් විතරයි. ඔබේ ගිණුමේ ඉන්න මිතුරන් අතරින් කෙනෙක් හෙට ඔබේ සතුරෙක් වෙන්න පුළුවන්. එදාට ඔහු ඔබේ තොරතුරු ඔබට විරුද්ධවම පාවිච්චි කරාවි. ඔබ ඔබේ පුද්ගලික තොරතුරු හෝ මතවාද සමාජ මාධ්‍යයේ පළ කරන්නේ අන්තර්ජාලය තුළ ඔබ ආරක්ෂිතයි කියලා හිතලයි. නමුත් ඔබ කොතරම් අනාරක්ෂිතද කියලා ඔබ දන්නවා නම් කිසිදාක ඔබ සමාජ මාධ්‍ය භාවිත කරන එකක් නැහැ. හරියට මේ මම වගේ.

ඒ වගේම සමාජ මාධ්‍යයේ පළවෙන සියලුම දේවල් ඇත්ත කියලා හිතන්නත් නරකයි. මොකද ඕනෑ කෙනකුට ඕනෑම බොරුවක් කියන්න කිසිම වාරණයක් එහි නැහැ. මිනිස්සු හැටියට අපි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ.” සමාජ ජාල නිසා අවුල් ජාලයක් වූ රටට එය අගනා පණිවුඩයකි.

සාවිත්‍රි විතානගේ
ඡායාරූප- චමිල කරුණාරත්න