“මෙහෙම ගියොත් රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න සිද්ධ වෙයි.”
පහුගිය දවස්වල දේශපාලනය ගිනි ගත්තේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ මේ ප්‍රකාශයත් එක්කය. රංගේ බණ්ඩාර කියපු විදියට රනිල්ට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනෙයිද? රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගේන එක නම් මහ ලොකු දෙයක් නොවේ. හැබැයි රනිල්ට විරුද්ධව ගේන විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙක් සම්මත කර ගැනීම නම් කජු කනවා වාගේ වැඩක් නොවේ. රනිල් කියන්නේ ජේ.ආර්.ගේ බෑණා බව කිසිසේත්ම අමතක කරන්න බැරිය.

මැතිවරණ 30කින් පැරදුණා කියලා රනිල්ට එරෙහිව චෝදනා කරන්න පුළුවන් වුණත් තනතුරු රැක ගැනීමේ සටනෙන් නම් රනිල් පැරදුණේ එක පාරක් විතරය. ඒ ගාමිණී දිසානායකටය. 1994දී විපක්ෂ නායක ධුරය සඳහා ගාමිණී හා රනිල් අතර පැවැති තරගයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය හිමි වුණේ ගාමිණීටය. ඒ නිසා ගාමිණී විපක්ෂ නායකයා වුණේය. හැබැයි 1994දී ඡන්ද දෙකකින් ගාමිණීට පැරදුණාට පස්සේ අද වෙනකම් රනිල් නායකත්ව සටනකින් නම් කාටවත් පැරදිලා නැත. හැම නායකත්ව සටනක්ම ඉවරවෙලා තියෙන්නේ රනිල්ව එළවන්න හදපු අය නන්නත්තාර වෙලාය. රනිල්ව එළවන්න හදපු අය යූ.ඇන්.පී. එක අත්හැර ගියහ. එහෙම නැත්නම් අන්තිමට රනිල්ගේ නායකත්වයම පිළිගෙන රනිල්ව වර්ණනා කරන තැනට අසරණ වූහ. ඉතින් රනිල් එළවන්න ගේමක් ගහන්න කලින් රනිල් දශක දෙකකටත් වැඩි කාලයක් යූ.ඇන්.පී. නායකත්වය ආරක්ෂා කර ගත්ත හැටි ‍පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඕනෑය. රනිල් එළවන්න හදලා ඒක කරන්න බැරි වෙලා අන්තිමේදී යූ.ඇන්.පී. දාලා ගිය අය ගැනත් ‍පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑය.

පක්ෂ නායකකම තමන්ගෙන් පිට වෙන කෙනකුට ගන්න බැරි ගේම රනිල් ගැහුවේ 1995දී කතරගමදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදීය. එතෙක් කලක් පැවැති ක්‍රමවේදය වූයේ පක්ෂ නායකයා සහ පක්ෂ ‍ලේකම්වරයා පක්ෂයේ වාර්ෂික සම්මේලනයේදී පක්ෂ නියෝජිතයන්ගේ ඡන්දයෙන් තේරීමය. හැබැයි රනිල්ට මේ ඡන්ද කෙරුවාව තිත්ත වුණේ 1994දී විපක්ෂ නායක තෝරන්න ගිහින් ඡන්ද දෙකකින් ගාමිණීට පැරදීමත් එක්කය. ගාමිණී රනිල්ව පරද්දලා විපක්ෂ නායක වුණා විතරක් නොව 1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාත් වුණේය. 1994 ගාමිණීගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ රහස් රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් බව මෛත්‍රීපාල සිරිසේන 2014දී හෙළිදරව් කළේය. ඒ එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට එරෙහිව යූ.ඇන්.පී. එක විශ්වාසභංග යෝජනාවක් ගෙනාපු වෙලාවේය. මෛත්‍රීපාල කියපු විදියට රනිල් ඒ රහස් හෙළිදරව් කළේ 1994දී ගාමිණී රනිල්ව පරද්දලා විපක්ෂ නායකකම ගත්ත එකේ පළිය ගන්නය. තොටළඟ එල්ටීටීඊ බෝම්බයෙන් ගාමිණී මියගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකකම රනිල්ට ලැබුණේය. රනිල් කතරගම සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට ගෙනා සංශෝධනයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට සදාකාලිකවම තියෙන තනතුරක් බවට පත්කර ගත්තේය. රනිල් 1994දී කතරගම සමුළුවේදී පක්ෂ නායකයා ඡන්දයෙන් පත් කිරීම අහෝසි කළේය. ඒ අනුව පක්ෂ නායකකම හිස් වන්නේ පක්ෂ නායකයා සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වුණොත් හෝ මියගියොත් විතරය. එසේම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 60ක් තමන්ගේ කැමැත්ත පරිදි ජුව පත් කිරීමේ අවස්ථාව ද පක්ෂ නායකයාට ලැබුණේය.

1946 සැප්තැම්බර් 6 වැනි දා එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වාට පස්සේ පක්ෂ ව්‍යවස්ථාවේ මහ ලොකු සංශෝධන සිද්ධ වුණේ නැත. ජේ.ආර්.ගේ කාලයේදී පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් සිදු කළ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අයකු රටේ ජනාධිපති ධුරය දරනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතුය යන සංශෝධනය ඒ අතරින් ප්‍රධානය. හැබැයි 1994දී කතරගම සමුළුවේදී රනිල් පක්ෂ ව්‍යවස්ථාවට ගෙනා සංශෝධන නිසා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලයිෆ් ටයිම් තනතුරක් බවට පත් වුණේය.
ඊට පස්සේ රනිල් එළවන්න විවිධ කැරලි, කුමන්ත්‍රණ දියත් වුණේය. හැබැයි රනිල් ගියේ නැත. යන්න සිද්ධ වුණේ ඒ කැරලි, කුමන්ත්‍රණ කරපු අයටය. 1994 ඉඳන් 2018 වෙනකොට රනිල්ට විරෝධය පා යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් 60ක් විතර යූ.ඇන්.පී. එකෙන් ගිහිල්ලා තිබේ. හෙට අනින්දා වන විට ඒ සෙට් එකට රංගේ බණ්ඩාරලාත්, වසන්ත සේනානායකලාත් එකතු වෙයිද කියලා කියන්න බැරිය.

රනිල්ට විරුද්ධව පළමුවෙන්ම ගේම ඉල්ලුවේ 1999දී සරත් අමුණුගම සහ නන්ද මැතිව්ය. හැබැයි මේ දෙන්නාම ඒ සටනින් පැරදුණහ. අවසානයේදී අමුණුගම සහ මැතිව් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එකතු වූහ. ඊට පස්සේ 1965 ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යූ.ඇන්.පී. එකේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු වූ විජේපාල මෙන්ඩිසුත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එකතු වුණේය. ඒ 2000දීය. විජේපාලටත් ප්‍රශ්නය තිබුණේ රනිල් එක්කය. 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වීමත් සමග රෝහිත බෝගොල්ලාගම චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එකතු වුණේය. ඊට පස්සේ 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ සන්ධාන ආණ්ඩුවට එකතු වූහ.

මේ පිල් මාරුවලින් පස්සේ රනිල්ගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් ඇති වුණේ 2006 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්‍ෂේප වී අවුරුදු 50කට පසුව කොළඹ බලය යූ.ඇන්.පී. එකෙන් ගිලිහී යාමත් සමගය. එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල්ට බල කෙරුණත් පක්ෂ නායකත්වය රැක ගන්න රනිල්ට පුළුවන් වුණේය. මේ අවස්ථාවේදී රනිල් විරෝධීන්ගේ උත්සාහය වුණේ එවකට නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරියව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙන ඒමය.
රනිල්ගේ නායකත්වයට එරෙහිව ඇතිවුණු ලොකුම කරැල්‍ලේ අවසන් ප්‍රතිඵලය වුණේ එවකට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනකු 2007දී මහින්දගේ ආණ්ඩුවට එකතු වීමය. රනිල් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් අයින් කරන්න දරපු උත්සාහය වැරදුණු නිසා කරු සමග එම්.එච්. මොහොමඩ්, මිලින්ද මොරගොඩ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, පී. දයාරත්න, මනෝ විජේරත්න, රාජිත සේනාරත්න, ආර්.ඒ.ඩී. සිරිසේන, මහින්ද විජේසේකර, නවීන් දිසානායක, හේමකුමාර නානායක්කාර, ධර්මදාස බණ්ඩා, නියෝමාල් පෙරේරා, චන්ද්‍රසිරි සූරියආරච්චි මහින්දගේ ආණ්ඩුවට එකතු වූහ.
තමන්ගේ නායකත්වයට එරෙහිව ගහපු මේ කැරැල්‍ලේදී රනිල්ට තම නායකත්වය ආරක්ෂා කර ගන්න පුළුවන් වුණත් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපෙළ නායකයන් රැසක් අහිමි වුණේය. හැබැයි ලෙඩා මළත් බඩ සුද්දයි කිව්වා වාගේ රනිල් ගේම ගොඩදා ගත්තේය.

2007දී කරු ඇතුළු 17ක් රනිල්ගේ නායකත්වයට අභියෝග කරලා සටන පැරදිලා මහින්දගේ ආණ්ඩුවට එකතු වුණාට පස්සේ රනිල්ගේ නායකත්වයට එරෙහි ඊළඟ කැරැල්ල ආවේ 2009 පෙබරවාරි මාසයේදීය. එහිදී යෝජනා වුණේ රනිල්ට එක්සත් ජාතික පක්ෂයේ ‘‍‍‍ජ්‍යෙෂ්ඨ නායක’ තනතුර දීලා පක්ෂයට අලුත් නායකයකු පත්කර ගන්නය. ඒ අනුව මේ අලුත් තනතුර නිර්මාණය කරලා රනිල්ව ඒ තනතුරට පත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වුණේය. ඊට පස්සේ මේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නායක තනතුරේ වගකීම් හා බලතල ගැන සාකච්ඡා කරන්න කමිටුවකුත් පත් කෙරුණි. ඒ කමිටුවේ සාමාජිකයන් වුණේ ජයවික්‍රම පෙරේරා, තිස්ස අත්තනායක, රේණුකා හේරත්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, එස්.බි. දිසානායක හා ජෝන් අමරතුංගය. හැබැයි අන්තිමේදී සුපුරුදු විදියට රනිල් ගේම දින්නේය. පක්ෂ නායකකම රැකගන්න රනිල්ට පුළුවන් වුණේය. කමිටු පත් කිරීම සහ කල් මැරීම යන තමන්ගේ ප්‍රකට දේශපාලන උපක්‍රම දෙක පාවිච්චි කරලා කැරැල්ල දුර්වල කරන්න රනිල්ට හැකි වුණේය. එස්.බි. දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රුක්මන් සේනානායක, අර්ල් ගුණසේකර, ජයවික්‍රම පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර, ජයලත් ජයවර්ධන, දයාසිරි ජයසේකර සහ සජිත් ප්‍රේමදාස මේ කැරැල්‍ලේදී රනිල්ව එළවන්න ලොකු උත්සාහයක් දැරුවත් අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයෙන් යන්න සිද්ධ වුණේ රනිල්ට නොව එස්.බි.ට, ලක්ෂ්මන්ට, ජොන්ස්ටන්ට, අර්ල්ට හා දයාසිරිටය. රනිල්ට එරෙහිව ගහපු කැරැල්ල ඉවර වුණේ ඒ විදියටය. 2009 කැරැල්ල වෙලාවේදී රනිල්ව රැක ගන්න වජිර අබේවර්ධන විශාල වැඩ කොටසක් කළ බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑය.

මේ කැරැල්ලෙන් පස්සේ 2009 දෙසැම්බර් මාසයේදී එස්.බි. දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරනායක මහින්දගේ ආණ්ඩුවට එකතු වූහ. ඊට පස්සේ 2010දී ලක්ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර, නිමල් විජේසිංහ, මනුෂ නානායක්කාර, උපේක්ෂා ස්වර්ණමාලි සහ අබ්දුල් කාදර් මහින්දගේ ආණ්ඩුවට එකතු වූහ.
ඊට පස්සේ ආපහු 2011දී රනිල්ව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අයින් කරලා කරු ජයසූරියව එක්සත් ජාතික පක්ෂයේ නායකයා කිරීමේ කැරැල්ලක් ඇරඹුණේය. සජිත් ප්‍රේමදාස සහ සජිත් හිතවාදීන් මේ කැරැල්‍ලේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අතර පක්ෂ නායකකම කරුට දීලා රනිල්ට දිගටම විපක්ෂ නායකකමේ ඉන්න කියන එක කැරැලිකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම විය. මේ කැරැල්ලද සුපුරුදු පරිදිම දියකර හරින්න රනිල්ට පුළුවන් වුණේ තමන්ව නායකත්වයෙන් එළවීම වැලි මිරිකා වතුර ගන්නවා වාගේ වැඩක් බව යළිත් වරක් සනාථ කරමිනි.

රනිල්ගේ නායකත්වයට එරෙහිව ඊළඟ කැරැල්ල ආවේ 2013දීය. 2013 කැරැල්ලට රනිල් දුන්නේ ‘නායකත්ව මණ්ඩලය’ නමැති බේතය. ඒ අනුව රනිල් පක්ෂයේ ‘ජාතික නායකයා’ ලෙස නම් කිරීමට යෝජනා වුණේය. මේ අර්බුදකාරී අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු සංවිධානය වන එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් සෑදීමේ යෝජනාව ඉදිරිපත් කළේය. ඒ අනුව අවසානයේදී නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. කරු ජයසූරියට නායකත්ව මණ්ඩලයේ සභාපතිකම ලැබුණු අතර සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල හා රුවන් විජයවර්ධන එහි අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කරනු ලැබූහ. හැබැයි තලතා ඒ තනතුර භාර ගත්තේ නැති නිසා විජේදාස රාජපක්ෂව නායකත්ව මණ්ඩලයට නම් කළේය. අද වන විට ඒ නායකත්ව මණ්ඩලයට වෙච්ච දෙයක් නැත. වෙච්ච එකම දේ රනිල්ගේ නායකත්වය ආරක්ෂා වීමය.

ඉතින් ඉතිහාසය දිහා බැලුවාම නම් සිද්ධ වෙලා තියෙන්නේ රනිල්ව නායකත්වයෙන් එළවන්න හදපු අයට පක්ෂයෙන් යන්න වීම හෝ පක්ෂය ඇතුළේ ඉඳගෙන රනිල්ගේ ගුණ ගයන්නට සිද්ධ වීමය. හැබැයි ඉතිහාසයේ එහෙම වුණා කියලා අනාගතයේදීත් ඒකම වෙයි කියලා කියන්න බැරිය. සම්භාවිතාවේදී නම් කියන්නේ එකම සිද්ධිය අනූනව වතාවක් වුණා කියලා සිය වැනි වතාවේදීත් ඒ සිද්ධියම වෙයි කියලා උපකල්පනය කරන්න බැරි බවය. හැබැයි මොනවා වුණත් 2020 කියන්නේ රනිල්ගේ අන්තිම සටනය. 2020 ජනාධිපතිවරණය දින්නොත් රනිල්ට තව අවුරුදු 5ක් ඉන්න පුළුවන්ය. 2020 පැරදුණොත් රනිල් සදහටම ගෙදරය. හැබැයි 2020 වෙනකම් රනිල්ට විකට් එක රැකගන්න පුළුවන් වෙයිද කියන එක නම් ගැටලුවකි. පක්ෂ නායකත්වය කියන විකට් එක රැක ගැනීම කියන කාරණයේදී නම් රනිල් කුමාර සංගක්කාරටත් වඩා දක්ෂ ක්‍රීඩකයෙකි. හැබැයි සංගක්කාරත් රනවුට් වෙලා තිබේ. ඉතින් රනිලුත් මේ දෝෂාභියෝගයත් එක්ක රනවුට් වෙයිද? එහෙම නැතිනම් 2020 වෙනතුරු නොදැවී ක්‍රීඩා කරයිද? ඒකත් ක්‍රිකට් තරමටම අවිනිශ්චිතය.

සඳුන් ජීවන්ත