නුවර ප්‍රදේශයේ උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වයට තමා ද වගකිව යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ නිල වබේ අඩවිය නගා තිබූ අසත්‍ය චෝදනාවට එරෙහිව නඩු පැවරීමටත්, වන්දි ඉල්ලීමටත් පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (08) පැවසීය.

මහනුවර මතු වූ තත්ත්වය උත්සන්න වීමට පෙර පිළියම් යෙදීමට තිබුණු බවත්, එහි දී නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද බරපතළ අඩුපාඩුවක් බවත් ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් රත්වත්තේ මහතා මේ බව පැවසීය.

මහනුවර හා ඒ අවට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහි දී රත්වත්තේ මහතා මෙසේ ද පැවසීය.
“නීතිය අවශ්‍ය මොහොතේ අවශ්‍ය දිනයේදීම අවශ්‍ය අයුරින් සිදු කළා නම් අද මෙවැනි තත්ත්වයක් උදා වන්නේ නැහැ. දැන් මේ ප්‍රදේශවල මුස්ලිම්, සිංහල ජනතාව අතර ඇතිවෙලා තිබෙන තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම එයට පිළියම් ද යෙදිය යුතුයි.

මේ සඳහා වගකිවයුත්තන් සොයා බලන්න කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා. දේපළ හානි සිදු වී ඇති පුද්ගලයින්ට වන්දි ලබාදෙන්න කියලත් ඉල්ලනවා.
එක්සත් ජාතික පක්ෂයේ නිල වබේ අඩවිය මගින් මට චෝදනා කර තිබුණා මේකට අපි සම්බන්ධයි කියලා. මම ඒ චෝදනාවට එරෙහිව එජාපයට නඩු දානවා. වන්දි ඉල්ලනවා. අපි සිටින්නේ මේ ජනතාවත් එක්ක. ඒ ජනතාව ඉන්නේ අපි එක්ක. ඒ බැව් මෙහෙ ඇවිත් බලන්න කියලා අපි ඉල්ලනවා.

නුවර එජාප නායකයෝ කොහේද කියලා හොයාගන්නවත් බැහැ. ජනතාව එක්ක ඉන්නේ අපි. ඒ නිසා අපිත් එක්ක එකතුවෙලා මේ අයට උදව් කරන්න කියලා මම සියලු නායකයන්ගෙන් ඉල්ලනවා.”
ඡායාරූපය – සජීව චින්තක කහඳගමගේ

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්