තෙල්දෙණිය, දිගන මෙන්ම කටුගස්තොට ප්‍රදේශවල පසුගිය දින තුනක පමණ කාලයක පැවතියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. පෙබරවාරි 22දා සිදුවූ රිය අනතුරක් මහනුවර මෙම ගැටුම්වලට මුල් හේතුව වී තිබුණි.

ලොරි රථයක් ත්‍රිරෝද රථයක වැදීමෙන් ත්‍රිරෝද රථයේ පැති කණ්ණාඩියකට හානි සිදුවී තිබේ. ලොරි රථය දිගන දක්වා නොනවත්වා ධාවනය කර තිබුණි. ත්‍රිරෝද රථයේ හඹා ආ පිරිසට ඉන්ධන පිරවුම්හලක් අසලදී ලොරි රථය හමුවී ඇත. ත්‍රිරෝද රථයේ සිව්නෙකු ගමන් කර තිබෙන අතර ඔවුන් බිමත්ව සිට ඇත. ත්‍රිරෝද රථයේ සිටි පිරිසගේ පහරදීමෙන් ලොරි රථයේ රියැදුරු බරපතළ තුවාලලබා රෝහල් ගත කර ඇති අතර ඔහු ඉකුත් 02දා මියගොස් තිබුණි.

තෙල්දෙණිය, දිගන මෙන්ම කටුගස්තොට ප්‍රදේවල ගැටුම් හට ගත්තේ ඉන් පසුවය. එම තරුණයාගේ මළ සිරුර ඉකුත් 2දා රාත්‍රී නිවසට රැගෙන ඒමත් සමග යම් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත. උඩිස්පත්තුව ප්‍රදේශයේ ටයර් පුලුස්සමින් විරෝධතාවක නිතර වී තිබේ. මෙම කලහකාරී තත්ත්වය මුල් කරගෙන අවට ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය පැතිර යන්නට විය.

මෙම ප්‍රදේශවල අප කළ සංචාරයේදී ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු සමග කතා කිරීමට හැකි විය. ඔවුන් බොහෝ දෙනා සඳහන් කළේ මහනුවරින් පිටත සිටින පුද්ගලයන් 2000ක් පමණ පැමිණ මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය කළ බවය.

කොටි ගහන කාලෙවත් අප අතර ගැටුම් තිබුණේ නැහැ. අපි ලෙඩේදී දුකේදී දුක බෙදා ගත්ත ගම්මු පිරිසක්. අවුරුදු හතළිහක විතර ඉතිහාසය තුළ අපි අතර කිසිම ගැටුමක් තිබුණේ නැතැයි දිගන බලගොල්ල ප්‍රදේශයේ පදිංචි ජුම්මා පල්ලියේ උපසභාපති අල්හාජ් හරීන් මහතා රිවිරට ඊයේ (08) පැවසීය.

අපේ ගමේ සිංහල, දෙමළ. මුස්ලිම්, අපි තුන්ගොල්ලම ජීවත් වෙනවා. අපේ දරු මුනුපුරන් ක්‍රිකට් ගහන්නේ එකට. ‍පෝයට දන්සල් කරන්නේ එකට. මුස්ලිම් අවුරුද්දට කෑමට මගේ ගෙදරට ගොඩක් සිංහල අය එනවා. අපි ඒ තරම් සාමදානයේ ජීවත් වෙන්නේ යැයිද හරීන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බලගොල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාස භූමියේ ඊයේ (08) උදෑසන පැවැති ජන හමුවේදී ඔහු රිවිරට ඉතා සංවේදීව මෙම අදහස් ප්‍රකාශ කළේය. මෙම ජන හමුව තෙල්දෙණිය ‍පොලිසිය විසින් සංවිධානය කර තිබුණි. ඒ සඳහා එම ප්‍රදේශයේ ප්‍රභූ පිරිස් ආගමික නායකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් 500කට ආසන්න පිරිසක් සහභාගි වී සිටිනු දැක ගත හැකි විය.

එහිදී වැඩිදුරටත් අල්හාජ් හරීන් මහතා මෙසේද කීය.
මේ ගැටුමට පිටතින් තමයි පුද්ගලයන් පැමිණිලා තිබෙන්නේ. ඒක අපට ඉතා විශ්වාසයෙන් යුතුව කිව හැකියි. මේ ගමේ සිංහල, මුස්ලිම්, දෙමළ මේ ඕන කෙනෙක් අපි හොඳින් හඳුනනවා. අප අතර හොඳ බැඳීමක් තිබෙනවා. මේක සංවිධානාත්මක පුද්ගලයන් පිරිසකගේ වැඩපිළිවෙළක් කියලා බය නැතිව කියන්න පුළුවන්. මා ආදරණීය ශ්‍රී ලංකා වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ තත්ත්වයක් නැවත ඇති නොවන්නට අප වගබලා ගත යුතුයි.

බලගොල්ල ප්‍රදේශයේ පදිංචි අනුරාධ ද නිවන්ත මහතා :

පැතිර යන කටකතා බොරු ඒවා. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් තවදුරටත් ඒකට රැවටෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. එක් සිද්ධියකින් ඇති චෙච්ච මේ භයානක තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීමට අපි වගබලා ගත යුතුයි.
මට සිටින ගොඩක් මිතුරන් මුස්ලිම් සහ දෙමළ. අපි ඉතා සමගියෙන් ජීවත් වෙනවා. ගොඩක් කලබල තිබුණු කාලෙවත් අපේ ප්‍රදේශයේ කිසිම කලබලයක් තිබුණ් නැහැ. අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ ගම්වල උදවිය උදේට හවසට නිතර හමුවෙන දකින අය. ඒ නිසා පිටතින් අපේ ගමට එන අය ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පහරදීම්වලට පැමිණි පිරිස් අපේ ගම්වල ‍නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්.

සාම විනිසුරු වසන්ත කිත්සිරි කුමාර මහතා :

මේක ලොකු වරදක්. ඒ වරද නිවැරදි කරන්න අපි ඉක්මනින් කටයුතු කළ යුතුයි. නැතිනම් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටී ඉන්න කියලාඅපි සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
හොඳටම විශ්වාසයි මෙම පහරදීම්වලට අපේ ගම්වල නොවෙන අය පැමිණියා කියලා. සංවිධානාත්මකව මේ වැඩේ කළා කියන එක මගේ අත්දැකීම්වලින් මට කියන්න පුළුවන්.

මඬුගල්‍ලේ පඤ්ඤාසාගර හිමි – කටුගස්තොට :

මෙම පහරදීම් ඉතා සංවිධානාත්මකව කරලා තිබෙන්නේ. ඒ වගේම බොරු ප්‍රචාර පතුරුවන පිරිස් ගොඩක් සිටිනවා. මේක බෞද්ධයන් අනෙකුත් ආගමිකයන් සියලු දෙනා තේරුම් ගත යුතුයි.
බුද්ධ ධර්මයට අනුව කිසිවකුට හිංසනයක් නොකරන ජාතියක් අපි. ඒ නිසා බුද්ධ ධර්මයට අනුව ජීවත් වන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා සාමදානයෙන් ජීවත් විය යුතුයි. එවැනි පරිසරයක් නොමැති අවස්ථාවක එම පරිසරය නිර්මාණය කර ගැනීමට කටයුතු කළ යුතුයි.
මේ වනවිට මහනුවර ප්‍රදේශය පුරා ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කොට තිබේ. මෙම සිදුවීම් හේතුවෙන් පුරා දින තුනකට ආසන්න කාලයක් ජන ජීවිතය අඩාළ වී තිබුණි. තෙල්දෙණිය සහ දිගන මෙන්ම කටුගස්තොට ප්‍රදේශවල දැඩි ආරක්ෂාව යොදා තිබෙනු දැකගත හැකි විය.

විවිධ පුද්ගලයන් ඉකුත් 4දා රාත්‍රී මියගිය තරුණයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ කළ කී ඇතැම් ප්‍රකාශ හේතු කොටගෙන ගමේ තරුණයන් උද්වේගකාරී වී ඇති බව ‍පොලිස් බුද්ධි අංශ සඳහන් කරයි. එසේ ප්‍රකෝප වූ පිරිස නගරයේ වෙළෙඳසලකට පහර දී එදිනම රාත්‍රී ගිනි තබා ඇති බව පසුව අනාවරණය වුනි. ඔවුන් ආගමික ස්ථානයකට පහරදීමට උත්සාහ දැරූ අතර ‍පොලිසිය වහාම ක්‍රියාත්මක වී 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිදුවීම් ජාලයත් සමග නොයෙක් කට කතා නුවර ප්‍රදේශය පුරා පැතිර යන්නට විය.
මේ වන විට සියයකට ආසන්න පිරිසක් සිද්ධියට අදාළව මහනුවර දිස්ත්‍රික්කයේ ‍පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එයින් සැලකිය යුතු පිරිසක් නුවරින් පිට පළාත්වල අය බවට ‍පොලිසිය කරුණු අනාවරණය කර තිබේ.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෝ දස දෙනකු තවමත් මහනුවර මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබති.
වෙනදා දස දහස් ගණනින් බැතිමතුන් එන ලක්ෂ ගණනින් සංචාරකයන් ගැවසෙන මහනුවර නගරයේ ‍පොලිස් නිලධාරින් කිහිප නෙකු පමණක් දැකිය හැකි විය.

ත්‍රිවිධ හමුදාව සහ ‍පොලිසියේ නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ට හැකි උපරිම අයුරින් නොයෙක් ක්‍රියාමාර්ගවල නියැළෙන අයුරු දැකගත හැකිය.

6000කට අධික පිරිසක් ත්‍රිවිධ හමුදාව සහ ‍පොලිසිය වෙනුවෙන් මහනුවරට ආරක්ෂාව සැපයීමට යොදවා තිබුණි.
ජංගම මුර සංචාර, හමුදා බෆල් රථ නගරය අවට නිරන්තරයෙන් ගමන් කරනු දක්නට ලැබිණි.

ඡායාරූප: සජීව චින්තක කහඳගමගේ

mahanuwara122223 mahanuwara35454 mahanuwara4554