අද දිනයේ (සිකුරාදා) රට තුළ ප්‍රශ්නයක් ඇතිවේ යැයි මතයක් ඇතත් එවැනි තත්ත්වයකට කිසිදු ඉඩක් නොතබන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (08) සඳහන් කළේය.

මහනුවරට ඊයේ (08) පැමිණි යුද හමුදාපතිවරයා මේ බව අවධාරණය කළේය.
මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේට රටේ පවතින තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් මේ අවස්ථාවේදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස මහා සංඝරත්නය දැනුවත් කරන ලෙසට එහි දී හමුදාපතිවරයා මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
“හදිසි නීතිය යටතේ හමුදාවට විශාල බලයක් ලැබි ඇතත් ඒවා පාවිච්චි කිරීමට බලා‍පොරොත්තු නොවන බව ද හමුදාපතිවරයා පැවසීය.

“අපේ කණ්ඩායම ඉන්නේ ආරක්ෂාවට මිස මිනිසුන්ට කරදර කරන්න ‍නෙවෙයි. ජනාධිපතිතුමා පැවසුවා විනාශ වූ දේපළ ත්‍රිවිධ හමුදාවට එකතු වෙලා ප්‍රතිසංස්කරණය කරන්න. අප වෙසක් දිනයට පෙර මේ කටයුතු අවසන් කළ විට යළිත් පෙර ආකාරයට වෙසක් සමරන්න පුළුවන්.” යැයි හමුදාපතිවරයා සඳහන් කළේය.

කසුන් මාධව හේරත්/කමල් සුරවීර