ශ්‍රී ලංකා ‍පොලිසියේ දැක්ම වී ඇත්තේ මහජන මිත්‍රශීලී අභිමානවත් ‍පොලිස් සේවයක් යන්නය. එය කොතෙක්දුරට වලංගුදැයි  දැන් ඇත්තේ සැබෑවටම ගැටලුවකි. ඊට ආසන්නතම උදාහරණය වන්නේ හික්කඩුව ‍පොලිසියේ නිලධාරීන් පිරිසක්  වැටලීමක් මුවාවෙන් කළ වාලම්පුරි මංකොල්ලයකි. දොම්පේ  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් රුපියල් කෝටි 20කට හික්කඩුවේදී  විදේශිකයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබුණූ එම වාලම්පුරිය කොල්ලකන්නේ බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකුද සමග එක්ව හික්කඩුව ‍පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකි. ඒ පසුගිය 02 දාය. මෙම ‍පොලිස් කණ්ඩායම සූදානම් වන්නේ කොල්ලකන ලද එම වාලම්පුරිය විකුණාගෙන කීයක් හරි සොයා ගන්නටය. එහෙත් එම බලා‍පොරොත්තුව බිඳ වැටෙන්නේ ගාල්ල සහකාර ‍පොලිස් අධිකාරී සතිෂ් ගමගේට ලද තොරතුරකට අනුවය. ඒ එම ‍පොලිස් කොල්ල කල්ලිය වාලම්පුරියද සමග අත්අඩංගුවට ගැනීමට වගබලා ගත් බැවිනි. මේ කතාවේ ඇති විශේෂත්වය වන්නේ මෙම හොරා ‍පොලිස් කණ්ඩායම වාලම්පුරිය විකුණා මුදල් බෙදා ගැනීමට සහකාර ‍පොලිස් අධිකාරිවරයාටද යෝජනා කිරීමය.

අභිමානවත් ‍පොලිස් සේවයක් සඳහා විශිෂ්ටත්වයේ ගමනක් යන ශ්‍රී ලංකා ‍පොලිසියේ හිටපු ‍පොලිස්පතිවරයකු පවා මේ වන විට සිටින්නේ ‍පොලිසියේම අත්අඩංගුවට පත්වීමේ අවදානමකට මුහුණ දීය. ඒ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන්කිරීමේ සැකකරුවෙක් ලෙසිනි. මේ වන විට විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් සහ ගල්කිස්ස ‍පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාද සිටින්නේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වනවාත් සමගද හිටපු ‍පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැනද කථාබහක් පැවතුණේය. ඒ කුප්‍රකට වෙ‍ලේ සුදා සමග සම්බන්ධකම් පවත්වමින් වරදාන ලබා ගැනීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසාම ඔහු රටින් පැනගොස් සිටියේය. නැවත ඔහු මෙරටට ඒන්නේ සියල්ල යහපත් ලෙස විසඳා ගැනීමෙන් අනතුරුවය.

මෑත කාලයේදී දූෂණ වංචා සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් ‍පොලිසියේ ඉහළ නිලධාරින් අත්අඩංගුවට ගත් අවස්ථා බොහෝය. වාස් ගුණවර්ධන මිනිස් ඝාතනයකට අත්අඩංගුවට පත්වන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක්ව සිටියදීය. අද වන විට ඔහු මරණීය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවෙකි. යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවකුට පලායාමට ආධාර හා අනුබල දීමේ චෝදනාවට ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට පත් විය. ඔහු ලලිත් ජයසිංහය. එපමණක් නොව, ඔහුට එරෙහිව තවත් එවන් චෝදනා කිහිපයක්ම ‍පොලිසිය එල්ල කළේය. ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුව සිටි අනුර සේනානායක ද සිටින්නේ මේ ගොන්නේය. වසරකට වැඩි කාලයක් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියේ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය වසන් කළේයැයි චෝදනාවකටය. මේ අතර නම් වශයෙන් සඳහන් නොකළද නිධන් හාරන්නට ගොස් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරු සහකාර ‍පොලිස් අධීකාරීවරු සහ ‍පොලිස් ස්ථානාධිපතිවරු සිටිති.

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවකගෙන් සහකාර ‍පොලිස් අධිකාරිවරයකු අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්තේද ඊයේ පෙරේදාය. ඒ අල්ලස් ලබා ගන්නා අවස්ථාවකදී අත්අඩංගුවට ගන්නා ලද පළමු සහ එකම ‍පොලිස් නිලධාරියා ලෙස ද නොවේ.

මංකොල්ලකෑම් සහ අභිරහස් මිනිස් ඝාතන සම්බන්ධයෙන්ද හෙට අනිද්දා ‍පොලිසියේ ලොකු මහත්තුරු කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වීමේ අවදානමක්ද තිබේ. අනුරාධපුරයේ සිදුවී ඇති ව්‍යාපාරික ආයතන පහක් කොල්ලකෑම් ඒ අතර වන බව සඳහන්ය. කොල්ලකා ඇති මුදල සුළු පටුද නොවේ. කෝටි ගණනකි. එම කොල්ලකෑම් මෙහෙයවූ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින්නේ යැයි අනාවරණය වන්නේ අපරාධ විමර්ශනයේ කීර්තිමත් ‍පොලිස් අධිකාරීවරයෙකි.

‍පොලිසියේම හොර මැරකම් නීතියේ රැහැනට වුවද හසුකර ගන්නේ ‍පොලිසියයි. ඒ ගැන ගෞරවය ‍පොලිසියට හිමිවිය යුතුය. නමුත් විශිෂ්ටත්වයේ ගමනක් යන ‍පොලිසියේ අභිමානයට මෙවන් දූෂිතයන් කැළලක් බවද නොකියා බැරිය.