ඇඹිලිපිටිය, කුට්ටිගල, බෝගල්ආර ප්‍රදේශයේ විසූ දහ හතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පසුගිය 15දා කච්චිගල වැවෙහි ගිලී මියගිය ශෝකජනක සිදුවීමෙන් ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය පදලංගල ජයන්ති මහා විද්‍යාලයේ නවය වසරෙහි ඉගෙනුම ලැබූ වල්පල ලොකුගේ වසන්තිකා නමැති දැරියකි. ඇගේ පියාද මීට වසර ගණනකට පෙර මියගොසිනි. මවද අසනීප තත්ත්වයෙනි. දරුවන් හත්දෙනකුගෙන් යුතු ඉතා දිළිඳු පවුලක බාලම දියණිය වසන්තිකාය. දැඩි ලෙස දුක් පීඩා විඳිමින් ඉතා අසරණව ජීවත් වූ මෙම දැරිය පාසල් ගොස් ඇත්තේද බාධක රැසක් මධ්‍යයේය. ඇයද දියේ ගිලී මියයෑමෙන් පසුව එම පවු‍ලේ දුක්ඛිත හා වේදනාත්මක ස්වභාවය තවත් දැඩිවෙමින් පවතී.

තම බාල සොයුරිය මියගිය ආකාරය පිළිබඳව ඇගේ වැඩිමල් සොයුරු ඩබ්ලිව්.එල්. ජීවන් (26) දුක්බරව මෙලෙස පැවසීය.

අපි ගඩොල් කපලා ජීවත් වෙන්නේ. නංගි පාසල් ඇරිලා ඇවිත් ගඩොල් ‍පෝරණුවක් හදන්න මට ගඩොල් ඇදලා දුන්නා. ඉන්පස්සේ මමයි බිරිඳයි නංගිත් එක්ක කච්චිගල වැවට හවස නාන්න ගියා. ගෙදර ඉඳලා වැවට කි.මී. 02ක් විතර දුරයි. නංගියි, බිරිඳයි වැවට බැහැලා නාන්න පටන් ගත්තා. ගෙදරට අවශ්‍ය දේවල් කිහිපයක් ගන්න ඒ අතරේ මම අසල කඩයකට ගියා.

ටිකකින් වැව පැත්තෙන් සද්දයක් ඇහුණා. හයියෙන් කෑගහන හඬකින්. මම වැව ළඟට දුවගෙන යද්දි නංගියි, බිරිඳයි දෙන්නම වැවේ ගිලිලා. වටපිටාවේ හිටි අය සමග වැවට පැනලා සොයද්දි බිරිඳ දියේ ගිලී ඉන්නවා හසුවුණා. එයාව ගොඩට අරගෙන එද්දි සිහිය නැහැ. එයට විනාඩි 10කට විතර පස්සේ නංගිව සොයාගත්තා. එයා වතුරේ අඩි 15ක් විතර යට ගිලිලා සිටියේ. නංගි එතකොටත් අඩපණයි. බිරිඳ නම් කෙඳිරි ගෑවා.

ත්‍රීවීල් එකක දාගෙන එයාලව රෝහලට අරගෙන යද්දි පෙරළුණා. ත්‍රීවීල් එකෙන් මාවත් විසිවෙලා කකුල බිඳුණා. නමුත් ප්‍රදේශවාසීන්ගේ උදව්වෙන් වෙනත් ත්‍රීවීල් එකකට නංගිවත්, බිරිඳවත් දාගෙන ඇඹිලිපිටිය රෝහලට අරන් ගියා. රෝහලට ගිහින් බලන විට නංගි මියගිහින්. දොස්තර මහත්වරු බිරිඳගේ ජීවිතේ බේරාගත්තා.

අනේ මගේ චූටි නංගි නැතිවුණා. එදා වැවට මාත් එක්කම ගියේ අවසන් ගමන බව හිතනකොට මට දරාගන්න බැහැ.
මියගිය සිසුවියගේ සොහොයුරාගේ බිරිඳ ඩී.ඩී. තේජා (18) මහත්තයත් මමත් නංගිත් ගඩොල් ඇදලා මහන්සි වෙලා හිටිය නිසයි නාන්න වැවට ගියේ. මට දරුවකුත් ලැබෙන්න ඉන්නේ. මහත්තයා ළඟ කඩයකට ගිය අතරේ මමත්, නංගිත් නාලා ගොඩට ආවා. මම වැව් ඉවුරේ ඉඳන් රෙදි සේදුවා. නංගි ඉණක් විතර ගැඹුර වතුරේ බැහැලා මා ආසන්නයේ ඉඳන් සෙල්ලම් කළා. එයා එකවරම වතුරට ඇදගෙන වැටිලා වැවේ පල්ලමකට ඇදිලා ගියා. මම කෑගහගෙන වතුරට පැනලා ගිලිලා නංගිව හෙව්වා. එයාව අල්ලගන්න බැරිවුණා. වතුරේ යටින් එයාව ඈතට ඇදිලා ගිහින් නොපෙනී ගියා. මටත් වතුර පෙවිලා සිහිය නැතිවුණා. අනේ රෝහ‍ලේදී සිහිය ආවමයි නංගි මියගිහින් කියලා දැනගත්තේ.

මියගිය සිසුවියගේ මව සුනීතා මල්කාන්ති (52)
අනේ මගේ පුංචි දෝණි මට නැතිවුණා. මේක දරාගන්න බැරි වේදනාවක්. අපි හරි දුප්පත් මිනිස්සු. මහත්තයත් නැතිව මේ දරුවෝ හත්දෙනා උස් මහත් කරගන්න ගෙවල්වල නොයෙක් වැඩ කරමින් දුක් වින්දා. මියගිය දුව පවු‍ලේ බාලයා. එයාව හරියට පාසල් යවන්න උගන්වන්න මට වත්කමක් තිබුණේ නැහැ.

මේ සිද්ධිය දවසේ මම බේත්ගන්න කුට්ටිගල රෝහලට ගියා. උදේට ගෙදර කන්න දෙයක් හරියට තිබුණෙත් නැහැ. දුව තේ එකක් බිලා පාසලට ගියේ. මම දවල් වෙනකොට යන්තම් බත් ටිකක් උයලා ලූනු සම්බෝලයක් හදලා තියලයි රෝහලට ගියේ. දරුවා පාස‍ලේ ඉඳන් ඇවිත් ඒ හදපු දේවල් කාලා ටිකකින් තමයි අසල ගෙදරක ඉන්න අයියගේ ගඩොල් ‍පෝරණුවට ගඩොල් ඇදලා එයාලත් එක්ක නාන්න ගිහින් තිබුණේ.

වසන්තිකා සිසුවියගේ පියා මියගොස් ඇත්තේ මීට වසර 10කට පෙර ගසකින් වැටීමෙනි. එතැන් සිට මේ දැරිය මව හා පවු‍ලේ අනෙක් දරුවන් විඳි දුක් පීඩා දුටු කුට්ටිගල ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් පරිත්‍යාගශීලියකුගේ ආධාර ඇතිව තනා දුන් කුඩා නිවසක මෙම පවු‍ලේ උදවිය දිවි ගෙවයි. ඒ නිවසද පුපුරා දොර ජනෙල්ද කැඩී ගොස් තිබේ.
ප්‍රදේශවාසීන්ගේ සහායෙන් අවමංගල්‍යයේ කටයුතු සිදුවූ අතර මියගිය සිසුවියගේ සිරුර දකින්නට ඒ නිවසට ආ බොහෝ දෙනකුගේ නෙතඟ කඳුළක් පිරෙනු නිරතුරුව දක්නට ලැබිණි.

සුනිල් හරිස්චන්ද්‍ර-උඩවලව
පී.පී.ජේ. රූපසේන-කොළොන්න