හිසරදය යනු මුලිකවම හිස තුළ ඇති වන කැක්කුමකි. නමුත් දෙමව්පියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු වනුයේ, හිසරදය දත්, කන්, උගුර හා ඇස් සම්බන්ධ රෝගයක ලක්ෂණයක් වශයෙන් පැමිණිලි කළ හැකි බවයි. එබැවින් ප‍්‍රාථමික හිසරදය වෙන් කර හඳුනා ගත යුතුව ඇත. එනම් හිසරදය ප‍්‍රාථමික හිසරදය හා ද්විතික හිසරදය වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. වෙනත් රෝග තත්ත්වයක් හේතු සාධක නොවී සැබැවින්ම හටගන්නා හිසරද තත්ත්වය ප‍්‍රාථමික හිසරදයයි. වෛරස් උණ, ශ්වසන රෝග ආදි වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇති වන හිසරදය ද්විත්ව හිසරදයයි.

වැඩිහිටියන් මෙන් නොව ළමයින් නිරතුරුව ශාරීරිකව හා මානසිකව වර්ධනය වෙමින් පවති. එබැවින් ළමා හිසරදය සම්බන්ධයෙන් සැලකු විට, ළමයකුගේ ජීවිතයේ වර්ධන අවධි ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. පෙර පාසල් වයස, ආරම්භක පාසල් කාලය, ශිෂ්‍යත්ව විභාගය සහ වැඩිවියට පත්වන අවධිවල සමාජීය හා අධ්‍යාපනික වෙනස්කම් රැුසක් සිදුවේ. මේ වෙනස්කම් විවිධ රෝගාබාධ ලෙස පෙන්නුම් කළ හැක. මේ අතරින් හිසරදය ඉතා සුලභව ඉදිරිපත් වන රෝගාබාධයකි.

ළමයින් තුළ හිසරදය සුලභව දැකිය හැක. වයස අවුරුදු 7 වන විට දරුවන්ගෙන් 40%ක් පමණද, වයස අවුරුදු 15 වන විට 75% ක් පමණද හිසරදය පිළිබඳ පැමිණිලි කරන බව ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙයි. 90%ක් පමණ ළමුන් යම් අවධියක හිසරදයෙන් පීඩා විඳින බව සාක්ෂි දරයි.

හිසරදයේ වෙනසක්
ළමුන්ටද, වැඩිහිටියන්ට හට ගන්නා අන්දමේ හිසරදයක් ඇති විය හැක. කෙසේ වුවද වැඩිහිටියන් හට ඇති වන සමහර හිසරදයන් ළමයින් තුළ දැක ගත නොහැක. එලෙසම ළමා වියේ හිසරදයන් වර්ග වැඩිහිටියන් හට ඇති වන හිසරද වර්ග වලට වඩා වෙනස් විය හැක.  ඒ අනුව ළමුන්ගේ හිසරද ලක්ෂණ සෑම අවස්ථාවකදීම විශේෂිත වු හිසරද වර්ගයකට අනුකූල නොවිය හැක. එම නිසා ළමයින්ගේ හිසරද වර්ග තීරණය කිරීම දුෂ්කරය. මෙය විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ හිසරද වර්ගීකරණ කිරීමේදි බලපාන අතර ඊට ප‍්‍රධාන හේතුව ඔවුන්ට හිසරදය පිළිබඳව විස්තර කිරීමට ඇති අපහසුතාවයි.

ඇත්ත වශයෙන්ම, ළමුන් බොරුවට ඔළුවේ කැක්කුම කියන අවස්ථා ඉතා විරල වනු ඇත. එම නිසා එය වෙනත් රෝගයක ලක්ෂණයක් විය හැක.

පරම්පරාවෙන්
සමහර හිසරද වර්ග පරම්පරාගත විය හැකිය. ඒ අනුව දෙමව්පියන්ට ඇති සමහර හිසරද වර්ග ඔවුන්ගේ ළමයින්ටද වැලඳීමට ඉඩ තිබේ.

හිසරදය මුලික රෝගයක් හෝ වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විය හැකිය. හිසරදය මුලික ලක්ෂණයක් වන රෝග ලෙස පහත රෝග දැක්විය හැක.
ඉරුවාරදය
ආතතිය හා බැඳුණු හිසරදය
ද්විතික හිසරදය
වෛරස් උණ
ශ්වසන රෝග
මානසික ආතතිය – මානසික ප‍්‍රශ්ණ, පාසලේ ප‍්‍රශ්න, බිය
ඇස්වල පෙනීමේ දුර්වලතා
සමහර ඖෂධ වැඩිපුර භාවිතය

ජාත්‍යන්තර දත්ත අනුව බොහෝ හිසරදයන් සඳහා ඖෂධ අවශ්‍ය නොවේ. සැබැවින්ම ‘හිසරදයෙන් පිඩා විඳින දරුවන්ගේ’ දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවාගේ හිසරදය තදබල රෝගයක් නිසා ඇති වන්නක්ද යන්න නිසි පරීක්ෂාවකින් පසු පහදා දියයුතුවීමයි. නොඑසේ නම් වඩාත් කනස්සල්ලට පත්වන්නේ දෙමාපියන්ය.