ආහාර රසකාරකයක් ලෙස දෙහිවලට හිමිවන්නේ මූලික තැනක්. පානයක් හැටියට වගේම අත් බෙහෙතක් හැටියටද අතීතයේ පටන් දෙහිවලට සුවිශේෂි තැනක් හිමිවෙනවා. විශේෂයෙන් බඩේ අමාරුවක් හැදුනොත් ඔබ ඉස් ඉස්සෙල්ලම කරන්නේ දෙහි ගෙඩියක යුෂ මිරිකා ලුණු ස්වල්පයක් දමා පානය කිරීමයි.

පැඟිරි කුලයට අයත් දේ බොහෝ තිබුණත් ආයුර්වේදයේ මුල්තැනක් හිමිවන්නේ දෙහිවලටයි. දෙහි කොල, මුල් ගැට ආදි සියලුම කොටස් බෙහෙතට යොදා ගන්නා අතර දෙහි කොල තම්බා වාෂ්පය ඇල්ලීම සිදුකරන්නේ හිසෙයි බර ගතිය අඩුකර ගැනීමටයි. දෙහි කොලවල ඇති වාෂ්පශීලි තෙල් ශ්වසන පහසුව ඇති කරවනු ලබන අතර සෙමටද මෙය ගුණදායකය. ශරීරය තරබාරු අයට මෙන්ම කොලෙස්ටරෝල් ඇති අයටද දෙහි ඉතා ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්.

එහෙත් ග්‍රැස්ටයිටීස් ඇති රෝගීන්ට දෙහි අගුණයි. පත්තෑයින් කෑ විට දෙහි රත් හඳුන් සමඟ ගලගා ආ‍ලේප කරන්නේ එහි විෂ නැසීමේ හැකියාවක් ඇති බැවිනි.

ආම්ලිකතාවයෙන් යුතු දෙහිවල බහුල වශයෙන් විටමින් සී අඩංගුයි. දෙහි ආහාරයට එක්කර ගැනීමෙන් ආහාර රුචිය හා බඩගින්න වඩවන අතර ආහාර අප්‍රියතාවයටද ගුණදායකයි. උණ සහ වමනය ඇති අවස්ථාවල පානයක් ලෙස සකසා ගත හැකි අතරම පිපාසය සංසිඳවීමේ ගුණයද මෙහි වේ.

විෂබිජ නාශකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද දෙහිතුළ අඩංගුයි. දෙහි හිඟ කාලවලදි පරිභෝජනයට ගැනීම සඳහා ලුණු දෙහි දැමීම බහුලව සිදුවන අතර එයද ආහාරයේ ප්‍රියබව වඩන්නට සමත්ය.