වසර තුනක් ආණ්ඩු බලය පැවතියද ලබාදුන් ‍පොරොන්දු ඉටු නොකිරීම නිසා මෙවර මැතිවරණයේ දී මහජනතාව ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ උතුරු පළාත් ඉන්ධන බෙදුම්කරුවන් සමග පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තව අවුරුදු දෙකක් තියෙනවා මහ මැතිවරණයකට. ආණ්ඩුවක් හැටියට අපේ තියෙන අඩුපාඩු හදාගෙන අපි කරපු දේවල් ගැන මහජනතාව දැනුවත් කරන ගමන් මේ ආණ්ඩුව ඉදිරියට යා යුතුයි. මේ රටේ මහජනතාව වරම ලබා දුන්නේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් පක්ෂ දේශපාලනය පිට තියලා, රටේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත්වෙලා, මේ රට ඉස්සරහට රැගෙන යාමටයි.”

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇමැතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

ප්‍ර: සුසිල් ප්‍රේමජයන්ත මහතා කියලා තියෙනවා පක්ෂයට අලුත් අය ගන්න බෑ කියලා.?
පි: නෑ. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. මේ ආණ්ඩුව හදනකොට ඉස්සෙල්ලම එළියට බැහැපු කෙනෙක් මම. මොකද මම විතරක් ‍නෙවෙයි, අපි කිහිප දෙනෙක් එළියට බැස්සා, මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. ඒක තමයි මේ රටේ මහජනතාව බලා‍පොරොත්තු වෙන්නේ. මේ රටේ මහජනතාව බලා‍පොරොත්තු වුණේ නෑ බඩුමිල අඩු කරන්න, ඒ ගොල්ලෝ කිව්වේ නෑ තවත් සහන දෙන්න කියලා. නමුත් අපි ඒවා කළා. නමුත් අපි හොරු අල්ලනවා කිව්වා. දූෂිතයන් අල්ලනවා කිව්වා. හොරකම් නවත්වනවා කිව්වා. නමුත් අපි ඒ කිසිවක් හරියට කළේ නෑ. ඒකට දුන්නු දඬුවමක් තමයි පසුගිය පළාත් පාලන මැතිවරණය.

ප්‍ර: වෙනත් ආණ්ඩුවක් හදනවා නම් ආයේ එහෙට යනවද?
පි: නෑ. මට තියෙන ප්‍රධානම දේ තමයි රටේ මහජනතාවගේ වරමට අපිට පිටුපාන්න බෑ. එහෙම නම් මහජනතාවට දෙන්න තිබ්බා ශ්‍රී ලංකා ආණ්ඩුවක්. එහෙම නැත්නම් යූඇන්පී ආණ්ඩුවක්. එහෙම නැතිව දෙගොල්ලො එකතු වෙලා රට පාලනය කරන ආණ්ඩුවක් තමයි ජනතාව ලබලා දුන්නේ. ඔය අපි ආණ්ඩු හදන කා‍ලේ හිටපු නැති අය එක එක දේවල් කියන්න පුළුවන්.

ප්‍ර: අලුතින් ආණ්ඩු පිහිටුවන්න යනවා. අගමැති වෙනස් කරන්න කියලා කියනවා. එහෙම වෙනසක් කරන්න ඕනද ඔබ සිතන විදිහට?
පි: මෙච්චර මේකට කලබල වෙන්න දෙයක් නෑ. අපේ තියෙන වැරදි හදාගෙන ඉදිරියට යාම තමයි වැදගත් වන්නේ. ‍පොහොට්ටුවට රජයට විරෝධී ඡන්ද තමයි දුන්නේ. ඒක අපි පිළිගන්න ඕනේ. මම කියනවා ආණ්ඩුවක් හැටියට අපේ යම් යම් වෙනස්කම් විය යුතුයි. ඒක අපි හැමදාම කියනවා. ඊට කලින් මම කියන්නේ අර මිනීමරපු, දූෂිතයෝ, හොරකම් කරපු අයට හරි තීරණ දුන්නා නම් අපිට මේ තත්ත්වය උරුම වෙන්නේ නෑ. මේක අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවෙත් කතා කළා. කැබිනට් මණ්ඩලයේත් කතා කළා. දැන් ඒ වගකීම ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා භාර අරගෙන තියෙනවා, මේවා හරි විදිහට හදාගන්න.

නයන තරංග ගමගේ