මෙරට දේශපාලන ලෝකය කුණාටුවෙන් කුණාටුවට ගමන් කරමින් සිටී. දේශපාලනය යන අතක් ගැන ජනතාව හිතාගත නොහැකිව සිටින බව පෙනේ. ඉත්තන් එහාට මෙහාට වෙමින් ඇත.
විවිධ කතා පැතිරේ. එහෙත් ආණ්ඩුවේ මුහුණුවර කුමක් දැයි තවම නිශ්චිතව අදහසක් ඇතිකරගත නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද මෙයට කලකට පෙර මුහුණ දුන්නේ මෙවැනි අර්බුදයකටය.

එසේ වුව ද ඒ ක්‍රීඩා කුණාටුවෙන් මිදී හිස එසවීමට අපේ ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබිම සැබැවින්ම ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව රට ගැන හිතන සියලු දෙනාගේම සතුටට හේතුවක් වනවාට සැකයක් නැත.

2017 පැවැති එක්දින තරග 29න් 23ක් ද ඕවර 20-20 තරග ඇතුළු අභියෝග රැසකින් පසුබා පරාජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. එනිසා ඉකුත් වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජිත කාලයක් සනිටුහන් කරන බව පෙනේ. එක පෙළට පරාජයන් රැසකට මුහුණ දීමට ක්‍රිකට් කණ්ඩායමට සිදු විය. පරාජය සම්බන්ධයෙන් ක්‍රීඩකයෝ සහ දේශපාලකයෝ තැන් දෙකක ඉඳගෙන එකිනෙකාට චෝදනා කර ගත්හ. දිගින් දිගටම සිදුවන පරාජයන් සමග යම් යම් මාරුකිරීම් ද සිදු විය.

එසේ වුව ද චන්දික හතුරුසිංහගේ මගපෙන්වීම යටතේ මේ වසරේ පළමු සංචාරය අරඹමින් බංග්ලාදේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය, ටෙස්ට් තරගාවලිය හා විස්ස-20 තරගාවලිය යන පූර්ණ තරගාවලිය ජයග්‍රහණය කළ මුල්ම කණ්ඩායම වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම සැබැවින්ම අගය කළ යුතුය. මෙය 2019 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කදිම ආරම්භයක් කර ගැනීමට හැකි බව සක්සුදක් සේ පැහැදිලිය. එවැනි ජයග්‍රාහී තැනකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගමන් කිරීමට හැකි වූයේ නිසි මග පෙන්වීම, නිරන්තර පුහුණුවීම, කණ්ඩායම් හැඟීම, කල්ලිවාදවලින් මිදීම ආදී සාධක නිසාය.

අප දකින පරිදි මේ ගති ලක්ෂණ සියල්ලම අපේ දේශපාලන ලෝකයට ද අත්‍යවශ්‍ය කරුණුය. එහෙයින් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින් දේශපාලන ලෝකයේ අර්බුද ජය ගැනීමට ද අපේ දේශපාලන නායකයන් යොමු වන්නේ නම් රට ජයග්‍රාහී තැනකට යොමු කරගත හැකිය. කෙසේ වුව ද එවැනි තැනකට යොමුවිය නොහැක්කේ බලකාමයට, ධනකාමයට, තනතුරු කාමයට දේශපාලන ලෝකය හැම අතින්ම නතුවීම නිසාය. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක කුසලානය අපේ රටට හිමි වූ අවස්ථාවේ එය දේශපාලන ලෝකයට ද ආදර්ශයක් විය යුතු බවට අදහස් ඉදිරිපත් විය. කෙසේ නමුදු දේශපාලනඥයෝ එය ආදර්ශයක් හැටියට නොගත්හ.

ලෝක කුසලානය රටට ලැබි දශකදෙකකට වැඩි කාලයක් ගත වී තිබේ. අපේ දේශපාලන ක්‍ෂේත්‍රය රට පරාජය කරා ගමන් කරවමින් තිබේ. එහෙයින් දැන්වත් ක්‍රිකට් කණ්ඩායමෙන් පාඩම් ඉගෙන ගෙන කටයුතු කිරීමට දේශපාලනඥයන් යොමු විය යුතුය. එසේම ක්‍රිකට් කණ්ඩායම ද මේ තැබූ ජයග්‍රාහී පියවර ඉදිරියටම තැබිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.